Friday, July 24, 2009

උපක්කිලේස සූත්‍රය

3. සුඤ්ඤත වග්ගෝ
3. සුඤ්ඤත වර්ගය
3.3.8. උපක්කිලේස සූත්‍රය
( උපක්ලේශ ගැන වදාළ දෙසුම )
මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ. ඒ කාලයෙහි කොසඹෑ නුවර භික්ෂූන් වහන්සේලා රණ්ඩු සරුවල් වෙලා, කෝලාහල ඇතිකරගෙන, වාද විවාද ඇතිකරගෙන එකිනෙකාට වචන නැමැති ආයුධවලින් විද ගනිමිනුයි වාසය කළේ. එතකොට එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව සිටගත්තා. එකත්පස්ව සිටගත් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා.

“ස්වාමීනී, මේ කොසඹෑ නුවර භික්ෂූන් වහන්සේලා රණ්ඩු අල්ලනවා. කෝලාහල කරගන්නවා. වාද විවාද කරගන්නවා. එකිනෙකාට වචන නැමැති ආයුධවලින් විදගන්නවා. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලා වෙත අනුකම්පා උපදවා වැඩමකරන සේක් නම් මැනවි.” භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව එම ඇරයුම ඉවසා වදාළා.

ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලා වෙත වැඩම කළා. වැඩම කොට ඒ භික්ෂූන්ට මෙය වදාළා. “කම් නැත, පින්වත් මහණෙනි, රණ්ඩුසරුවල් කරන්න එපා! කෝලාහල කරගන්න එපා! අර්බුද ඇතිකරගන්න එපා! වාද විවාද කරගන්න එපා!”

මෙසේ වදාළ කල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, ධර්මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ පසෙකට වී සිටින සේක්වා! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මෙයට මැදිහත් වීමට උත්සාහවත් නොවී භාවනානුයෝගී සුවයෙන් වැඩහිඳින සේක්වා! අපි මේ සණ්ඩු සරුවල් වලින්, කොලාහලයෙන්, අර්බුදයෙන්, විවාදයෙන් ප්‍රසිද්ධියට පත්වෙනවා.”

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවෙනි වතාවටත් ඒ භික්ෂූන් වහන්සේලා අමතා වදාළා. “කම් නැත, පින්වත් මහණෙනි, රණ්ඩුසරුවල් කරන්න එපා! කෝලාහල කරගන්න එපා! අර්බුද ඇතිකරගන්න එපා! වාද විවාද කරගන්න එපා!”

දෙවෙනි වතාවේදීත් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, ධර්මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ පසෙකට වී සිටින සේක්වා! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මෙයට මැදිහත් වීමට උත්සාහවත් නොවී භාවනානුයෝගී සුවයෙන් වැඩහිඳින සේක්වා! අපි මේ සණ්ඩු සරුවල්වලින්, කොලාහලයෙන්, අර්බුදයෙන්, විවාදයෙන් ප්‍රසිද්ධියට පත්වෙනවා.”

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවටත් ඒ භික්ෂූන් වහන්සේලා අමතා වදාළා. “කම් නැත, පින්වත් මහණෙනි, රණ්ඩුසරුවල් කරන්න එපා! කෝලාහල කරගන්න එපා! අර්බුද ඇතිකරගන්න එපා! වාද විවාද කරගන්න එපා!”

තුන්වෙනි වතාවේදීත් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, ධර්මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ පසෙකට වී සිටින සේක්වා! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මෙයට මැදිහත් වීමට උත්සාහවත් නොවී භාවනානුයෝගී සුවයෙන් වැඩහිඳින සේක්වා! අපි මේ සණ්ඩු සරුවල්වලින්, කොලාහලයෙන්, අර්බුදයෙන්, විවාදයෙන් ප්‍රසිද්ධියට පත්වෙනවා.”

එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවා ගෙන පාත්‍රයද ගෙන කොසඹෑ නුවරට පිඬු පිණිස වැඩම කළා. කොසඹෑ නුවර පිඬු පිණිස වැඩම කොට දානයෙන් පසු පිණ්ඩපාතයෙන් වැළකී තමන් වහන්සේගේ කුටිය අස්පස් කොට, පාත්‍රය හා සිවුරුද රැගෙන සිටගෙන වැඩසිටියදී ම මෙම ගාථාවන් වදාළ සේක.

“මේ සමාන අදහස් ඇති පිරිස මහා ශබ්දයක් කරනවා. මේ කාටවත් හිතෙන්නේ නෑ තමන් බාලයෙක් නේද කියලා. සංඝභේදය සිදුවෙද්දී මේ එක්කෙනෙකුටවත් සිතෙන්නේ නෑ තමා නිසා නේද මේ බරපතල දේ සිදුවෙන්නේ කියලා.

සිහිමුලාව සිටින ඔවුන් මහා නුවණැත්තන් විදිහට සිතාගෙනයි අර්බුද ඇතිවෙන කරුණු රැස් කර කර කියවන්නේ. යම්තාක් කට පළල් කොට කතා කරන්නට කැමති වෙද්ද, ඒ තාක් මේ උදවිය දොඩවනවා.

‛මට ආක්‍රෝෂ කළා. මාව පෙලුවා. මාව පැරැද්දුවා. මා සතු දේවල් පැහැරගත්තා’ කිය කියා යම් කෙනෙක් සිතෙහි වෛර බැඳගන්නවා නම්, ඔවුන්ගේ ඒ වෛරය සංසිඳෙන්නේ නෑ.

‛මට ආක්‍රෝෂ කළා. මාව පෙලුවා. මාව පැරැද්දුවා. මා සතු දේවල් පැහැරගත්තා’ කිය කියා යම් කෙනෙක් සිතෙහි වෛර බැඳගන්නේ නැත්නම් නම්, ඔවුන්ගේ ඒ වෛරය සංසිඳීයනවා.

මේ ලෝකයේ කවරදාකවත් වෛර කිරීමෙන් වෛරය සංසිඳීයන්නේ නෑ. වෛර නොකිරීමෙන්ම යි සංසිඳී යන්නේ. මෙය සනාතන සත්‍යයක්.

ඔය කෝලාහල කරන උදවිය දන්නෙ නෑ මේ කෝලාහල නිසාම අපි වැනසිලා යනවා කියලා. නමුත් යම් දිනෙක මේ කෝලාහල නිසා තමන් වැනසී යන බව තේරුම් ගන්නවා නම් ඒ හේතුවෙන් තමයි කෝලාහල සංසිඳී යන්නේ.

මිනිසුන්ගේ ඇට බිඳලා, පණ නසන හොරු ඉන්නවා. ගවයන්, අසුන්, ධන ධාන්‍ය පැහැරගන්නා හොරු ඉන්නවා. රටවල් මංකොල්ලකන හොරු ඉන්නවා. ඔවුන්ගේ පවා සමඟියක් තියෙනවා. නුඹලාට සමඟි වෙන්නට බැරි මක් නිසාද?

ඉදින් ඇසුරු කරන්නට ඉතා සුදුසු වූ, ස්ථානෝචිත ප්‍රඥාව ඇති, යහපත් ගති පැවතුම් ඇති යහළුවෙක් ලැබුනොත් ඒ ප්‍රාඥ වූ කලණ මිතුරා සමඟ තිබෙන හැම කරදරයක්ම මැඩගෙන සතුටින් හා සිහියෙන් යුක්තව ඔහු සමඟ වාසය කරන්නට ඕන.

නමුත් ඇසුරු කරන්නට ඉතා සුදුසු වූ, ස්ථානෝචිත ප්‍රඥාව ඇති, යහපත් ගති පැවතුම් ඇති, ප්‍රාඥ වූ කලණ මිතුරු වූ යහළුවෙක් නොලැබුනොත්, දිනපු රට අත්හැර හුදෙකලාවේ යන රජෙක් වගේ, වනාන්තරයෙහි හුදෙකලාවේ වාසය කළ මාතංග නම් හස්තිරාජයා වගේ තනියම යි ඉන්න ඕන.

හුදෙකලාවේ හැසිරීමම යි ශ්‍රේෂ්ඨ වන්නේ. අඥාන බාලයන්ගේ යාළු කමෙන් ඇති ඵලක් නෑ. තනියම වාසය කිරීම හේතුවෙන් ඔහුට පව් රැස්වෙන්නේ නෑ. වනාන්තරයේ හුදෙකලාවේ වාසය කරන මාතංග හස්තිරාජයා වගේ උත්සාහ නැතුව තනියමයි ඉන්න තියෙන්නේ.”

ඉතින් භාග්‍යවතුන් වහන්සේ සිටගෙන වැඩසිටියදී ම මේ ගාථා වදාරා බාලකලෝණකාර නම් ගමට වැඩම කළා. ඒ දිනවල ආයුෂ්මත් භගු තෙරුන් වැඩසිටියේ බාලකලෝණකාර ගමෙහිය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දුරින්ම වඩින අයුරු ආයුෂ්මත් භගු තෙරුන් දුටුවා. දැක ආසනයක් පැණෙව්වා. පා දෝවනය කරන්නට පැන් පිළියෙල කළා. භාග්‍යවතුන් වහන්සේ පැණවූ අසුනෙහි වැඩසිටියා. වැඩහිඳ පා දෝවනය කළා. ආයුෂ්මත් භගු තෙරුන් භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වැඳ එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හුන් ආයුෂ්මත් භගු තෙරුන් හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

“පින්වත් භික්ෂුව, කොහොමද, ඉවසන්නට පුළුවනිද? කොහොමද, යැපෙන්නට පුළුවනිද? කොහොමද, පිණ්ඩපාතයෙන් අපහසුවක් නැද්ද?” “භාග්‍යවතුන් වහන්ස, ඉවසන්නට පුළුවනි. භාග්‍යවතුන් වහන්ස, යැපෙන්නටත් පුළුවනි. භාග්‍යවතුන් වහන්ස, පිණ්ඩපාතයෙන් කිසි අපහසුවක් නෑ.”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් භගු තෙරුන් හට දැහැමි කතාවෙන් කරුණු දක්වා, සමාදන් කරවා, උනන්දු කරවා, පහදවා, හුනස්නෙන් නැගී පාචීනවංස නම් වනය කරා වැඩම කළා.

ඒ දිනවල ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ද, ආයුෂ්මත් නන්දිය තෙරුන්ද, ආයුෂ්මත් කිම්බිල තෙරුන්ද වාසය කළේ පාචීනවංස නැමැති වනාන්තරයේ. එහිදී වනාරක්ෂක තැනැත්තා දුරින්ම වඩින භාග්‍යවතුන් වහන්සේව දැක්කා. දැක භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “මහා ශ්‍රමණයන් වහන්ස, මේ අභය භූමියට ඇතුළු වන්නට එපා! මේ වනයේ තමන් කැමති පරිදි බණ භාවනා කරමින් සිටින කුලපුත්‍රයන් තුන් දෙනෙක් වාසය කරනවා. උන්වහන්සේලාව අපහසුවට පත්කරන්නට එපා!”

එතකොට ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ වනාරක්ෂක තැනැත්තා භාග්‍යවතුන් වහන්සේ සමඟ කරන මේ කතාව ඇසුවා. අසා ඒ වනාරක්ෂක තැනැත්තාට මෙය පැවසුවා. “ප්‍රිය ආයුෂ්මත් වනපාලය, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව වළක්වන්නට එපා! අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේයි මේ වැඩම කරලා ඉන්නේ.”

ඉතින් ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් ආයුෂ්මත් නන්දිය තෙරුන් හා ආයුෂ්මත් කිම්බිල තෙරුන් වෙත පැමිණියා. පැමිණ ආයුෂ්මත් නන්දිය තෙරුන්ට හා ආයුෂ්මත් කිම්බිල තෙරුන්ට මෙය පැවසුවා. “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඉක්මනින් වඩින්න. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඉක්මනින් වඩින්න. අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ වැඩම කළ සේක” කියලා. එතකොට ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ද, ආයුෂ්මත් නන්දිය තෙරුන්ද, ආයුෂ්මත් කිම්බිල තෙරුන්ද භාග්‍යවතුන් වහන්සේට පෙරගමන් කොට එක නමක් භාග්‍යවතුන් වහන්සේගේ පා සිවුරු පිළිගත්තා. එක නමක් භාග්‍යවතුන් වහන්සේට වැඩසිටින්නට ආසනයක් පැණෙව්වා. එක නමක් පා සෝදන්නට දිය බඳුනක් පිළියෙල කළා. භාග්‍යවතුන් වහන්සේ පණවන ලද අසුනෙහි වැඩසිටියා. වැඩහිඳ පා දෝවනය කළා. ඒ ආයුෂ්මත් තෙරුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

“පින්වත් අනුරුද්ධයෙනි, කොහොමද, ඉවසන්නට පුළුවනිද? කොහොමද, යැපෙන්නට පුළුවනිද? කොහොමද, පිණ්ඩපාතයෙන් අපහසුවක් නැද්ද?” “භාග්‍යවතුන් වහන්ස, ඉවසන්නට පුළුවනි. භාග්‍යවතුන් වහන්ස, යැපෙන්නටත් පුළුවනි. භාග්‍යවතුන් වහන්ස, පිණ්ඩපාතයෙන් කිසි අපහසුවක් නෑ.”

“කොහොමද, පින්වත් අනුරුද්ධයෙනි, සමඟිව, සමඟියෙන් සතුටු වෙමින්, වාද විවාද නොකරමින්, කිරියි වතුරයි එක්වුනා වගේ එකිනෙකා දෙස ප්‍රිය ඇසින් බලමින්ද, වාසය කරන්නේ?”

“ස්වාමීනී, ඒකාන්තයෙන්ම අපි සමඟිව, සමඟියෙන් සතුටු වෙමින්, වාද විවාද නොකරමින්, කිරියි වතුරයි එක්වුනා වගේ එකිනෙකා දෙස ප්‍රිය ඇසින් බලමිනුයි වාසය කරන්නේ.”

“පින්වත් අනුරුද්ධයෙනි, ඔබ කොයි අයුරින්ද, සමඟිව, සමඟියෙන් සතුටු වෙමින්, වාද විවාද නොකරමින්, කිරියි වතුරයි එක්වුනා වගේ එකිනෙකා දෙස ප්‍රිය ඇසින් බලමින් වාසය කරන්නේ?”

“ස්වාමීනී, මට මෙහිදී මෙහෙමයි සිතෙන්නේ. ‛ඒකාන්තයෙන්ම මට ලාභයක්ම යි. ඒකාන්තයෙන්ම මට යහපත් ලැබීමක්ම යි. මෙබඳු වූ ගතිගුණ ඇති සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමඟ වාසය කරන්නට ලැබුණා නෙව’ කියලා. එතකොට ස්වාමීනී, මා තුළ මේ ආයුෂ්මතුන් වහන්සේලා කෙරෙහි ඉදිරියෙහිත්, නැති විටත්, මෛත්‍රී කාය කර්ම පිහිටලා තියෙනවා. මෛත්‍රී වචී කර්ම ....'(පෙ)'.... මා තුළ මේ ආයුෂ්මතුන් වහන්සේලා කෙරෙහි ඉදිරියෙහිත්, නැති විටත්, මෛත්‍රී මනෝ කර්ම පිහිටලා තියෙනවා. එතකොට ස්වාමීනී, මට මෙහෙමත් සිතෙනවා. මං මගේ සිත බැහැරින් තබලා මේ ආයුෂ්මතුන් වහන්සේලාගේ සිත සමඟ එක් වී වසන්නට ඕන කියලා. එතකොට ස්වාමීනී, ඒ මම මගේ සිත බැහැර කොට මේ ආයුෂ්මතුන් වහන්සේලාගේ සිත සමඟ එක් වී වාසය කරනවා. එතකොට ස්වාමීනී, අපගේ වෙනස්කම තියෙන්නේ ශරීරවලින් විතරයි. නමුත් අපේ සිත එකක් කියලයි හැඟෙන්නේ.”

ආයුෂ්මත් නන්දිය තෙරුන්ද ....'(පෙ)'.... ආයුෂ්මත් කිම්බිල තෙරුන්ද භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, මටත් සිතෙන්නේ මෙහෙමයි. ‛ඒකාන්තයෙන්ම මට ලාභයක්ම යි. ඒකාන්තයෙන්ම මට මනා වූ ලාභයක්ම යි. ඒ මම ....'(පෙ)'.... සිතින් එකයි කියලයි හැඟෙන්නේ.”

“ස්වාමීනී, අපි ඔය විදිහටයි සමඟිව, සමඟියෙන් සතුටු වෙමින්, වාද විවාද නොකරමින්, කිරියි වතුරයි එක්වුනා වගේ එකිනෙකා දෙස ප්‍රිය ඇසින් බලමින් වාසය කරන්නේ.”

“සාදු! සාදු! පින්වත් අනුරුද්ධයෙනි, කොහොමද, පින්වත් අනුරුද්ධයෙනි, ඔබ වාසය කරන්නේ අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුක්තව, දහමට දිවි පිදීමෙන්ද?”

“ස්වාමීනී, ඒකාන්තයෙන්ම අපි අප්‍රමාදීව, කෙලෙස් තවන වීරියෙන් යුක්තව දහමට දිවි පුදායි වාසය කරන්නේ.”

“පින්වත් අනුරුද්ධයෙනි, අප්‍රමාදීව, කෙලෙස් තවන වීරියෙන් යුක්තව දහමට දිවි පුදා ඔබ වාසය කරන්නේ කොයි අයුරින්ද?”

“ස්වාමීනී, මෙහි වාසය කරන අප අතරින් යම් කෙනෙක් පළමුවෙන්ම ගමෙන් පිණ්ඩපාතේ කරගෙන ආපසු හැරී එනවා නම්, ඒ භික්ෂුව තමයි ආසන පණවන්නේ. පානීය පාරිභෝජනීය පැන් පිළියෙල කරන්නේ. ඉඳුල් භාජනය තබන්නේ. යමෙක් ගමෙන් පිඬු සිඟාගෙන පහුවෙලා එනවා නම්, වළඳා ඉතිරි වූ යමක් ඇද්ද, ඒ භික්ෂුව කැමති නම් එය වළඳනවා. වළඳන්නට අවශ්‍ය නැත්නම් තණකොළ නැති බිමක දමනවා. එක්කො ප්‍රාණීන් නැති ජලයේ පා කර යවනවා. ඒ භික්ෂුව තමයි ආසන නැවත හකුලා තබන්නේ. පානීය පාරිභෝජනීය දිය බඳුන් අස් කරන්නේ. ඉඳුල් භාජනය සෝදා තැන්පත් කරන්නේ. දන් ශාලාව අමදින්නේ. එහිදී පැන් කලය හෝ පරිභෝග කරන පැන් බඳුන හිස් වෙලා තියෙනවා කවුරුවත් දකිනවා නම්, ඒකට පැන් පුරවනවා. ඉදින් ඔහුට තනියම එය ඔසවන්නට නොහැකි නම්, අතින් අඬගසා අනිත් කෙනෙකුගේ උදව්වෙන් එය ඔසවා තබනවා. ස්වාමීනී, අපි ඒ හේතුවෙන්වත් වචන කතාබහක් කරන්නේ නෑ.

නමුත් ස්වාමීනී, අපි දවස් පහකට වතාවක් තුන් යම රාත්‍රිය පුරාවට ධර්ම කතාවෙහි යෙදී වාසය කරනවා. ස්වාමීනී, අපි ඔය විදිහටයි අප්‍රමාදීව, කෙලෙස් තවන වීරියෙන් යුතුව, දහමට දිවි පුදා වාසය කරන්නේ.”

“සාදු! සාදු! පින්වත් අනුරුද්ධ, ඉතින් පින්වත් අනුරුද්ධයෙනි, ඔය විදිහට අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුතුව, දහමට දිවි පුදා වාසය කරද්දී මනුස්ස ධර්මයන්ට වඩා උතුම් වූ ආර්ය වූ ඤාණ දර්ශන විශේෂයක් උපදවා ගෙන පහසුවෙන් වාසය කිරීමක් තියෙනවාද?”

“ස්වාමීනී, අපි මෙහි අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුතුව, දහමට දිවි පුදා වාසය කරද්දී ආලෝකයත්, දිවැසින් රූප දැකීමත් ඇති කරගත්තා. ඒ වුණාට ඒ අපගේ ආලෝකය වැඩිවෙලාවක් පවතින්නේ නෑ. අතුරුදහන් වෙලා යනවා. රූප දර්ශනයටත් ඒකයි වෙන්නේ. ඒ නිමිත්ත සම්පූර්ණයෙන් වැටහෙන්නේ නෑ.”

“පින්වත් අනුරුද්ධයෙනි, ඔබ විසින් ඒ නිමිත්ත සම්පූර්ණයෙන් ම වටහාගත යුතුයි. පින්වත් අනුරුද්ධයෙනි, මාත් සම්බුද්ධත්වයට කලින්, සම්බුදු නොවී සිටියදී ම බෝධිසත්ව වශයෙන් සිටියදී ම, ආලෝකයත්, රූප දර්ශනත් හඳුනා ගත්තා. මට ඇති වූ ඒ ආලෝකය බොහෝ වේලාවක් තියෙන්නේ නෑ. අතුරුදහන් වෙනවා. රූප දර්ශනයත් එහෙමයි. එතකොට පින්වත් අනුරුද්ධ මට මෙහෙමයි සිතුනේ. යම් කරුණකින් මට ඇති වූ ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙනවාද, ඒකට හේතුව කුමක්ද? කාරණය කුමක්ද? කියලා.

එතකොට පින්වත් අනුරුද්ධයෙනි, මට මෙහෙම සිතුනා. ‛මා තුළ සැකය ඇතිවෙලා තියෙනවා. සැකය ඇතිවීම නිසයි ඒ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. එතකොට පින්වත් අනුරුද්ධ, ඒ මං අප්‍රමාදීව, කෙලෙස් තවන වීරියෙන් යුතුව, දහමට දිවි පුදා වාසය කරද්දී, ආලෝකයත්, රූප දර්ශනයත් හඳුනා ගත්තා. නමුත් ඒ ආලෝකයත්, රූප දර්ශනයත් වැඩිකල් නොගිහින් අතුරුදහන් වෙනවා. එතකොට පින්වත් අනුරුද්ධ මම මෙම හිතුවා. යම් කරුණකින් මට ඇති වූ ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙනවාද, ඒකට හේතුව කුමක්ද? කාරණය කුමක්ද? කියලා.

එතකොට පින්වත් අනුරුද්ධයෙනි, මට මෙහෙම සිතුනා. ‛මා තුළ මෙනෙහි නොකිරීම ඇතිවෙනවා. ඒ මෙනෙහි නොකිරීම හේතුවෙනුයි සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. එතකොට මං තුළ නැවත සැකය නූපදින විදිහට, මනසිකාර නැති බව නූපදින විදිහට කටයුතු කරනවා.

ඒ මං පින්වත් අනුරුද්ධ, ....'(පෙ)'.... එතකොට පින්වත් අනුරුද්ධ මං මෙහෙම හිතුනා. ‛මා තුළ ථීනමිද්ධය ඇතිවෙලා තියෙනවා. ථීනමිද්ධය නිසයි මගේ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. එතකොට මං තුළ නැවත සැකය නූපදින විදිහට, මනසිකාර නැති බව නූපදින විදිහට, ථීනමිද්ධය නූපදින විදිහට කටයුතු කරනවා.

එතකොට පින්වත් අනුරුද්ධ, මා තුළ භය තැති ගැනීම් ඇති වුණා. ඒ භය තැතිගැනීම නිසයි, මගේ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. පින්වත් අනුරුද්ධ ඒක මේ වගේ දෙයක්. කාන්තාර මාර්ගයකට බැසගත් පුද්ගලයෙක් ඉන්නවා. ඔහුගේ දෙපැත්තේ වධකයෝ පැමිණිලා ඉන්නවා. එතකොට ඒ හේතුවෙන් ඔහුට බිය තැතිගැනීම් ඇතිවෙනවා නේද? පින්වත් අනුරුද්ධය, ඔය විදිහටයි මා තුළ බිය තැතිගැනීම් හටගත්තේ. ඒ භය තැතිගැනීම නිසයි, මගේ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. එතකොට මං තුළ නැවත සැකය නූපදින විදිහට, මනසිකාර නැති බව නූපදින විදිහට, ථීනමිද්ධය නූපදින විදිහට, භය තැති ගැනීම නූපදින විදිහට කටයුතු කරනවා.

එතකොට පින්වත් අනුරුද්ධ, මා තුළ සතුටින් ඉපිල යාම ඇතිවුනා. ඒ සතුටින් ඉපිල යාම නිසයි, මගේ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. පින්වත් අනුරුද්ධ ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් එක නිධානයක් හොයද්දී, එකවරම නිධාන පහක් හම්බවෙනවා වගෙයි. ඒ හේතුවෙන් ඔහුගේ සිත බලවත්ව සතුටින් ඉපිල යනවා. පින්වත් අනුරුද්ධය, ඔය විදිහටයි මා තුළ සතුටින් ඉපිල යාම ඇති වුනේ. ඒ සතුටින් ඉපිල යාම නිසයි මගේ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. එතකොට මං තුළ නැවත සැකය නූපදින විදිහට, මනසිකාර නැති බව නූපදින විදිහට, ථීනමිද්ධය නූපදින විදිහට, භය තැති ගැනීම නූපදින විදිහට, සතුටින් ඉපිල යාම නූපදින විදිහට කටයුතු කරනවා.

එතකොට පින්වත් අනුරුද්ධ, මා තුළ කයට ලොකු වෙහෙසක් ඇති වුනා. ඒ කයට ඇති වූ වෙහෙස නිසයි, මගේ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. එතකොට මං තුළ නැවත සැකය නූපදින විදිහට, මනසිකාර නැති බව නූපදින විදිහට, ථීනමිද්ධය නූපදින විදිහට, භය තැති ගැනීම නූපදින විදිහට, සතුටින් ඉපිල යාම නූපදින විදිහට, කායික වෙහෙස නූපදින විදිහට කටයුතු කරනවා.

එතකොට පින්වත් අනුරුද්ධ, මා තුළ අධික විදිහට වීරිය ඇතිවුනා. ඒ අධික වීරිය නිසයි, මගේ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. පින්වත් අනුරුද්ධයෙනි, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් අත් දෙක දැඩි කොට වටුකුරුල්ලෙක්ව හයියෙන් අල්ලනවා. එතකොට ඌ එතනම මැරිලා වැටෙනවා. පින්වත් අනුරුද්ධයෙනි, ඔය විදිහේ දෙයක් තමයි මට ත් වුනේ. මා තුළ අධික විදිහේ වීරියක් ඇතිවුනා. ඒ අධික වූ විරිය නිසා ම යි මගේ සමාධිය නැතිවුනේ. ....'(පෙ)'.... එතකොට මං තුළ නැවත සැකය නූපදින විදිහට, මනසිකාර නැති බව නූපදින විදිහට, ථීනමිද්ධය නූපදින විදිහට, භය තැති ගැනීම නූපදින විදිහට, සතුටින් ඉපිල යාම නූපදින විදිහට, කායික වෙහෙස නූපදින විදිහට, අධික වීරිය නූපදින විදිහට කටයුතු කරනවා.

එතකොට පින්වත් අනුරුද්ධ, මා තුළ වීරිය අතිශයින්ම ලිහිල් වීම ඇති වුනා. ඒ වීරිය හොඳටම ලිහිල් වීම නිසයි, මගේ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. පින්වත් අනුරුද්ධයෙනි, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් අත් දෙක හොඳටම ලිහිල් කොට වටුකුරුල්ලෙක්ව අල්ලන්න යනවා. එතකොට ඌ පියාඹා යනවා. පින්වත් අනුරුද්ධයෙනි, ඔය විදිහේ දෙයක් තමයි මටත් වුනේ. මා තුළ හොඳට ලිහිල් වූ වීරියක් ඇතිවුණා. ඒ හොඳටම ලිහිල් වූ වීරිය නිසාම යි මගේ සමාධිය නැතිවුනේ. ....'(පෙ)'.... එතකොට මං තුළ නැවත සැකය නූපදින විදිහට, මනසිකාර නැති බව නූපදින විදිහට, ථීනමිද්ධය නූපදින විදිහට, භය තැති ගැනීම නූපදින විදිහට, සතුටින් ඉපිල යාම නූපදින විදිහට, කායික වෙහෙස නූපදින විදිහට, අධික වීරිය නූපදින විදිහට, හොඳටම ලිහිල් වූ වීරිය නූපදින විදිහට කටයුතු කරනවා.

එතකොට පින්වත් අනුරුද්ධ, මා තුළ ආලෝක දර්ශන ආදිය පිණිස තෘෂ්ණාවක් ඇති වුණා. ඒ තෘෂ්ණාව නිසයි, මගේ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. එතකොට මං තුළ නැවත සැකය නූපදින විදිහට, මනසිකාර නැතිබව නූපදින විදිහට, ථීනමිද්ධය නූපදින විදිහට, භය තැති ගැනීම නූපදින විදිහට, සතුටින් ඉපිල යාම නූපදින විදිහට, කායික වෙහෙස නූපදින විදිහට, අධික වීරිය නූපදින විදිහට, හොඳටම ලිහිල් වූ වීරිය නූපදින විදිහට, තෘෂ්ණාව නූපදින විදිහට කටයුතු කරනවා.

එතකොට පින්වත් අනුරුද්ධ, මා තුළ විවිධාකාර සඤ්ඤාවන් ඇතිවුනා. ඒ නා නා සඤ්ඤාවන් නිසයි, මගේ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. එතකොට මං තුළ නැවත සැකය නූපදින විදිහට, මනසිකාර නැතිබව නූපදින විදිහට, ථීනමිද්ධය නූපදින විදිහට, භය තැති ගැනීම නූපදින විදිහට, සතුටින් ඉපිල යාම නූපදින විදිහට, කායික වෙහෙස නූපදින විදිහට, අධික වීරිය නූපදින විදිහට, හොඳටම ලිහිල් වූ වීරිය නූපදින විදිහට, තෘෂ්ණාව නූපදින විදිහට, නානා සඤ්ඤාවන් නූපදින විදිහට කටයුතු කරනවා.

පින්වත් අනුරුද්ධයෙනි, ඒ මං අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුක්තව, දහමට දිවි පුදා වාසය කරද්දී, ආලෝකයත්, රූප දර්ශනයත් හඳුනා ගත්තා. නමුත් ඒ ආලෝකයත්, රූප දර්ශනයත් වැඩිකල් නො ගිහින් අතුරුදහන් වෙනවා. එතකොට පින්වත් අනුරුද්ධ මම මෙම හිතුවා. යම් කරුණකින් මට ඇති වූ ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙනවා නම් ඒකට හේතුව කුමක්ද? කාරණය කුමක්ද? කියලා.

එතකොට පින්වත් අනුරුද්ධයෙනි, මට මෙහෙම සිතුනා. ‛මා තුළ එකම විදිහේ රූප මෙනෙහි කරන්නට අධිකව වෑයම් කිරීම ඇතිවුණා. ඒ එකම විදිහේ රූප මෙනෙහි කරන්නට අධිකව වෑයම් කිරීම හේතුවෙනුයි සමාධිය නැතිවුනේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වුනේ. එතකොට මං තුළ නැවත සැකය නූපදින විදිහට, මනසිකාර නැති බව නූපදින විදිහට, ථීනමිද්ධය නූපදින විදිහට, භය තැති ගැනීම නූපදින විදිහට, සතුටින් ඉපිල යාම නූපදින විදිහට, කායික වෙහෙස නූපදින විදිහට, අධික වීරිය නූපදින විදිහට, හොඳටම ලිහිල් වූ වීරිය නූපදින විදිහට, තෘෂ්ණාව නූපදින විදිහට, ඒ නානා සඤ්ඤාවන් නූපදින විදිහට, එකම විදිහේ රූප මෙනෙහි කරන්නට අධික ව වෑයම් කිරීම නූපදින විදිහට කටයුතු කරනවා.

පින්වත් අනුරුද්ධයෙනි, ඒ මම සැකය සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ සැකය අත්හැරියා. මෙනෙහි නොකිරීම සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ අමනසිකාරය අත්හැරියා. ථීනමිද්ධය සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ ථීනමිද්ධය අත්හැරියා. භය තැතිගැනීම සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ භය තැතිගැනීම අත්හැරියා. සතුටින් සිත ඉපිල යාම සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ සතුටින් සිත ඉපිලයාම අත්හැරියා. කායික වෙහෙස සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ කායික වෙහෙස අත්හැරියා. අධික ලෙස ගන්නා වීරිය සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ අධික ලෙස ගන්නා වීරිය අත්හැරියා. ලිහිල්ව ගත් වීරිය සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ ලිහිල්ව ගත් වීරිය අත්හැරියා. තෘෂ්ණාව සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ තෘෂ්ණාව අත්හැරියා. නානාත්ම සඤ්ඤාව සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ නානාත්ම සඤ්ඤාව අත්හැරියා. එකම විදිහේ රූප මෙනෙහි කරන්නට අධිකව වෑයම් කිරීම සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ එකම විදිහේ රූප මෙනෙහි කරන්නට අධිකව වෑයම් කිරීම අත්හැරියා.

පින්වත් අනුරුද්ධය, ඒ මම අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුක්තව දහමට දිවි පුදා වාසය කරද්දී, ආලෝකය හඳුනාගන්නවා. නමුත් රූප දකින්නේ නෑ. ඇතැම්විට රූප දකිනවා. නමුත් ආලෝකය හඳුනන්නේ නෑ. ඇතැම් විට මුළු රාත්‍රියමත්, මුළු දහවලත්, මුළු රෑ දවල් දෙකෙහිමත් ඔය විදිහයි. එතකොට පින්වත් අනුරුද්ධ මට මෙහෙම හිතුණා. ‛මුළු රැයත්, මුළු දහවලත්, මුළු රෑ දහවල් දෙකෙහිත් මං ආලෝකය හඳුනාගන්නවා නම්, රූප දකින්නේ නැත්නම්, ඒ වගේම රූප දකිනවා නම්, ආලෝකය හඳුනන්නේ නැත්නම් මෙයට හේතුව කුමක්ද? කාරණය කුමක්ද? කියලා.’ එතකොට පින්වත් අනුරුද්ධයෙනි, මට මේ අදහස ඇතිවුණා. යම් වෙලාවක මං රූප නිමිත්ත මෙනෙහි නොකොට ආලෝක නිමිත්ත මෙනෙහි කරනවා නම් ඒ වෙලාවට මං ආලෝකයයි හඳුනාගන්නේ. රූප දකින්නේ නෑ. යම් වෙලාවක ආලෝක මෙනෙහි නොකොට, රූප නිමිත්ත මෙනෙහි කරනවා නම් ඒ වෙලාවට මං රූප දකිනවා. ආලෝකය හඳුනාගන්නේ නෑ. මුළු රැයත්, මුළු දහවලත්, මුළු රෑ දහවලත් ඔය විදිහයි.

පින්වත් අනුරුද්ධය, ඒ මම අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුක්තව දහමට දිවි පුදා වාසය කරද්දී, මුළු රැයත්, මුළු දහවලත්, මුළු රෑ දහවලත් ආලෝකය හඳුනාගන්නවා. රූප දකින්නේ ටිකයි. අප්‍රමාණ වූ ආලෝකය හඳුනාගන්නවා. ඇතැම් විට අප්‍රමාණ වූ රූප දකිනවා. එතකොට පින්වත් අනුරුද්ධය මට මෙහෙම හිතුණා. මුළු රැයත්, මුළු දහවලත්, මුළු රෑ දහවලත් මං ස්වල්ප වූ ආලෝකයක් හඳුනාගන්නවා නම්, ස්වල්ප වූ රූප දකිනවා නම්, අප්‍රමාණ ආලෝකයක් හඳුනාගන්නවා නම්, අප්‍රමාණ රූප දකිනවා නම්, එයට හේතුව කුමක්ද? ප්‍රත්‍ය කුමක්ද?

එතකොට පින්වත් අනුරුද්ධය, මට මෙහෙමයි සිතුනේ. යම් වෙලාවක සමාධිය පැතිරීම තිබෙන්නේ ටිකයිද, ඒ වෙලාවට මගේ දිවැස තිබෙන්නෙත් ටිකයි. ඒ මං ස්වල්ප වූ දිවැසින් තමයි රූප ටිකක් දකින්නේ. ආලෝකය ටිකක් හඳුනාගන්නේ. යම් වෙලාවක මා අප්‍රමාණ වූ සමාධියක් පතුරනවාද, ඒ වෙලාවට මගේ දිවැසත් ප්‍රමාණ රහිතයි. ඒ මං ප්‍රමාණ රහිත වූ දිවැසින් අප්‍රමාණ ආලෝකය හඳුනාගන්නවා. අප්‍රමාණ රූප දකිනවා. මුළු රැයත්, මුළු දහවලත්, මුළු රෑ දහවලත් ඔය විදිහයි.

පින්වත් අනුරුද්ධය, යම් විටෙක සැකය සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ සැකය ප්‍රහාණය වුණාද, අමනසිකාරය සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ අමනසිකාරය ප්‍රහාණය වුණාද, ථීනමිද්ධය සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ ථීනමිද්ධය ප්‍රහාණය වුණාද, භය තැතිගැනීම සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ භය තැතිගැනීම ප්‍රහාණය වුණාද, සිත සතුටින් ඉපිල යාම සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ සතුටින් ඉපිල යාම ප්‍රහාණය වුණාද, කායික වෙහෙස සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ කායික වෙහෙස ප්‍රහාණය වුණාද, ඉතා දැඩිව ගත් වීරිය සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ ඉතා දැඩිව ගත් වීරිය ප්‍රහාණය වුණාද, ඉතා ලිහිල්ව ගත් වීරිය සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ ඉතා ලිහිල්ව ගත් වීරිය ප්‍රහාණය වුණාද, තෘෂ්ණාව සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ තෘෂ්ණාව ප්‍රහාණය වුණාද, නානාත්ම සඤ්ඤාව සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ නානාත්ම සඤ්ඤාව ප්‍රහාණය වුණාද, එකම විදිහේ රූප මෙනෙහි කරන්නට අධිකව වෑයම් කිරීම සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ එකම විදිහේ රූප මෙනෙහි කරන්නට අධිකව වෑයම් කිරීම ප්‍රහාණය වුණාද, එතකොට පින්වත් අනුරුද්ධයෙනි, මට මෙහෙමයි සිතුනේ. ‛මාගේ සිතේ යම් උපක්ලේශයන් තිබුණා නම් දැන් ඒවා ප්‍රහාණය වෙලයි තියෙන්නේ. එහෙම නම් මං දැන් තුන් ආකාරයකින් සමාධිය වඩන්නට ඕන’ කියලා.

එතකොට පින්වත් අනුරුද්ධයෙනි, විතර්ක විචාර සහිතවත් සමාධිය වැඩුවා, විතර්ක නැතුව විචාර මාත්‍රයකිනුත් සමාධිය වැඩුවා. විතර්ක නැතුව විචාර නැතුව සමාධිය වැඩුවා. ප්‍රීතිය සහිතවත් සමාධිය වැඩුවා. ප්‍රීතිය රහිතවත් සමාධිය වැඩුවා. සැප සහගතවත් සමාධිය වැඩුවා. උපේක්ෂා සහගතවත් සමාධිය වැඩුවා.

පින්වත් අනුරුද්ධයෙනි, යම් විටෙක මා විසින් විතර්ක සහිත වූ, විචාර සහිත වූ සමාධිය වැඩුවාද, විතර්ක රහිත වූත්, විචාර මාත්‍ර වූත් සමාධිය වැඩුවාද, විතර්ක රහිත වූත්, විචාර රහිත වූත් සමාධිය වැඩුවාද, ප්‍රීතිය සහිත සමාධිය වැඩුවාද, ප්‍රීතිය රහිත සමාධිය වැඩුවාද, සැප සහිත සමාධිය වැඩුවාද, උපේක්ෂා සහගත සමාධිය වැඩුවාද එතකොට මට ඤාණ දර්ශනය ඇතිවුනා. මාගේ චිත්ත විමුක්තිය නොවෙනස් වන ස්වභාවයකින් යුක්තයි. මෙය මාගේ අන්තිම උපතයි. නැවත පුනර්භවයක් නැතැ’යි කියලා.

භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ඒ ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

උපක්ලේශ ගැන වදාළ දෙසුම නිමා විය.

5 comments:

  1. හුකපන්, මෙක කියවන්න ගියොත් පිස්සු හැදෙනවා...

    ReplyDelete
  2. @Anonymous තොට අමුතුවෙන් පිස්සු හැදෙන්න දෙයක් නැත තෝ අමු පිස්සෙක්

    @බොදු සිත - ඉදිරියට කරගන යන්න අපි බලනවා ඔබට පින් !

    ReplyDelete
  3. SADU! SADU! SADU! BOHOMA SUNDARA DESHANAWAK. "BUDUPIYANAN SAMMA SAMBUDDAI,DARMAYA SUWAKKATHAI,SANGARATHNAYA SUPATIPANNAI"
    Pinwath obata bohoma pin!!!
    SIYALU SATHWAYO DARMAYEN SANASETHWA!!
    MAITHREE SAHAGATHA KAYA KARMA ATI AYA WETHWA!
    MAITREE SAHAGATH WACHANA ATI AYA WETHWA!
    MAITHREE SAHAGATH SITHUVILI ATI AYA WETHWA!

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete

ඔබගේ ආගමානුකූල අදහස් සැම විට අගය කරමු,අදහස් සඳහා පිරිසිඳු වචන භාවිතා කරන්න, ඔබ සියළුදෙනා වචනය පිරිසිඳු අත්තෝ වෙත්වා.

තෙරුවන සරණයි !