Wednesday, July 29, 2009

3.3.9. බාලපණ්ඩිත සූත්‍රය

( බාලයා හා පණ්ඩිතයා ගැන වදාළ දෙසුම )
මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමා විසින් කරවන ලද ආරාමයෙහිය. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියා භික්ෂුසංඝයා අමතා වදාළා. “පින්වතුන් වහන්ස” කියා ඒ භික්ෂූන්ද භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

“පින්වත් මහණෙනි, පවිටු බාලයා තුළ ඒ අසත්පුරුෂ බාල බව පෙන්වන ලක්ෂණ, ඒ අසත්පුරුෂ බාල බව දැනගත හැකි නිමිති, ඒ අසත්පුරුෂ බාල බව ඉස්මතු වෙන චරියාවන් තුනක් තියෙනවා. පින්වත් මහණෙනි, අසත්පුරුෂ බාලයා දුෂ්ට සිතුවිලිම යි සිතන්නේ. දුෂ්ට දේවල්ම යි කියන්නේ. දුෂ්ට වැඩම යි කරන්නේ. පින්වත් මහණෙනි, යම් හෙයකින් අසත්පුරුෂ බාලයා දුෂ්ට සිතුවිලි සිතන්නේ නැත්නම්, දුෂ්ට වචන කියන්නේ නැත්නම්, දුෂ්ට වැඩ කරන්නේ නැත්නම් සත්පුරුෂ පණ්ඩිතයෙකුට මේ ‛භවත් මොහු වනාහී අසත්පුරුෂයෙක් ය, බාලයෙක් ය’ කියලා හඳුනාගන්නේ කොහොමද? පින්වත් මහණෙනි, යම් හෙයකින් අසත්පුරුෂ බාලයා දුෂ්ට සිතුවිලි සිතනවාද, දුෂ්ට වචන කියනවාද, දුෂ්ට වැඩ කරනවාද, ඒ නිසාම යි ඔහුව සත්පුරුෂ නුවණැතියන් හඳුනාගන්නේ ‛මේ භවතා අසත්පුරුෂ බාලයා ය’ කියා.

පින්වත් මහණෙනි, ඒ අසත්පුරුෂ බාලයා මේ ජීවිතය තුළදී ම තුන් ආකාරයකින් දුක් දොම්නස් විඳිනවා. පින්වත් මහණෙනි, ඉදින් අසත්පුරුෂ බාලයා පිරිසක් මැද වාඩිවෙලා ඉන්නට පුළුවනි. වීදියක වාඩිවෙලා ඉන්න පුළුවනි. සිව් මංසලක වාඩිවෙලා ඉන්නට පුළුවනි. එහිදිත් ජනයා ඔහුගේ බාල ක්‍රියාවට ගැලපෙන දේවල් කතාබස් කරනවා අසන්නට ලැබෙනවා.

පින්වත් මහණෙනි, ඉදින් අසත්පුරුෂ බාලයා ප්‍රාණඝාත කරන කෙනෙක් වෙයිද, සොරකම් කරන කෙනෙක් වෙයිද, කාම මිත්‍යාචාරයේ යෙදෙන කෙනෙක් වෙයිද, බොරු කියන කෙනෙක් වෙයිද, මත්පැන්, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් වෙයිද, එතකොට පින්වත් මහණෙනි, බාලයාට මෙහෙම හිතෙනවා. ‛මේ මිනිස්සු දුෂ්චරිත පිළිබඳව ත් කතා බස් කරනවා නෙව. මේ දුෂ්චරිතයන් මා තුළ තියෙනවා. මාත් ඒ දුෂ්චරිත තුළ නෙව ඉන්නේ’ කියලා. පින්වත් මහණෙනි, බාලයා මෙලොවදී ම දුක් දොම්නස් විඳින පළමු කාරණාව මෙයයි.

මතු සම්බන්ධයි.............

1 comment:

  1. ‍‍බුද්ද ධර්මය පිළිබද පොත පත e-books වෂයෙන් බාගත කර ගැනීමට එක් කරන්න

    ReplyDelete

ඔබගේ ආගමානුකූල අදහස් සැම විට අගය කරමු,අදහස් සඳහා පිරිසිඳු වචන භාවිතා කරන්න, ඔබ සියළුදෙනා වචනය පිරිසිඳු අත්තෝ වෙත්වා.

තෙරුවන සරණයි !