Thursday, July 30, 2009

- බාලයා හා පණ්ඩිතයා ගැන වදාළ දෙසුම -2

සුඤ්ඤත වර්ගය
බාලපණ්ඩිත සූත්‍රය


පින්වත් මහණෙනිල නැවත අනෙකක් කියමිග රජවරු අපරාධකාරයෙක්ල සොරෙක් අල්ලාගෙන ඔහුට විවිධාකාර දඬුවම් පමුණුවන අයුරු බාලයාට දකින්නට ලැබෙනවා. ඒ කියන්නේ, ඒ අපරාධකාරයාට කසෙන් තලනවා. වේවැලෙන් තලනවා, දඬු මුගුරුවලින් තලනවා, අත් කපල දානවා, කකුල් කපල දානවා, අත් කකුල් කපල දානවා, කණ කපනවා, නාසයත් කපනව, කණ් නාසාත් කපනව හිස් කබල චප්ප කරල දානවා, හිස් කබලෙ ඇටේ මතු වෙනකල් බොරළු දාල හූරනවා, යකඩ අඬුවකින් කට පළල් කරල ගිනි පන්දම් ඔබනවා, ඇඟේ තෙල් පාන්කඩ ඔතල ගිනි තියනවා, අත්වල තෙල් පාන්කඩ ඔතල ගිනි තියනවා, බෙල්ලෙ ඉඳන් පහළට හම ගලෝලා ඇදගෙන යනවා, බෙල්ලෙ ඉඳන් පහළටත් කකුලෙ ඉඳන් උඩටත් හම ගලෝලාල එකට ගැට ගහනවා, දණිස් දෙකෙත්ල වැළමිටි දෙකෙත් යකඩ උල් ගහල පොළවට හයි කරල ගින්නෙන් රත් කරනවා. කොකුවලින් ඇණ ඇණ මස් ලේ විසුරුවනවා, මුළු ශරීරයේම මස් චූටි කෑලිවලට ඉරල දානවාග ශරීරයෙ තැනින් තැන සිදුරු කරල ලෝදිය දානවා, පැත්තට ඇල කරල බිම දාල කණේ උලක් ගහලා, ඒ උලෙන් හිටෝලල කකුල් දෙකෙන් වටේට කරකවනවා, ගල්වලින් තලල ඇඟ ඇතුලෙ ඇට කුඩු කරල දානවා, ගින්නෙන් කකාරගත්තු තෙල්වලින් නාවනවා, බල්ලන්ට කන්න දානවා, උලේ ඉන්දවනවා, හිස ගසා දානවා.

පින්වත් මහණෙනිල එතකොට බාලයාට මෙහෙම සිතෙනවා, මේ අපරාධකාරයන්ව අල්ලාගෙන රජ දරුවෝ විවිධාකාර දඬුවම් දෙනවා නෙව කසෙන් තලනවා, වේවැලෙන් තලනවා, දඬු මුගුරු වලින් තලනවා, අත් කපල දානව, කකුල් කපල දානව, අත් කකුල් කපල දානවා, කණ කපනවා, නාසයත් කපනවා, කණ් නාසාත් කපනවා, හිස් කබල චප්ප කරල දානවා, හිස් කබලෙ ඇටේ මතු වෙනකල් බොරළු දාල හූරනවා, යකඩ අඬුවකින් කට පළල් කරල ගිනි පන්දම් ඔබනවා, ඇඟේ තෙල් පාන්කඩ ඔතල ගිනි තියනවා, අත්වල තෙල් පාන්කඩ ඔතල ගිනි තියනවා, බෙල්ලෙ ඉඳන් පහළට හම ගලෝල ඇදගෙන යනවා, බෙල්ලෙ ඉඳන් පහළටත් කකුලෙ ඉඳන් උඩටත් හම ගලෝල එකට ගැට ගහනවා දණිස් දෙකෙත්ල වැළමිටි දෙකෙත් යකඩ උල් ගහල පොළවට හයි කරලාල ගින්නෙන් රත් කරනවා කොකුවලින් ඇණ ඇණ මස් ලේ විසුරුවනවා, මුළු ශරීරයේම මස් චූටි කෑලිවලට ඉරල දානවා. ශරීරයේ තැනින් තැන සිදුරු කරල ලෝදිය දානවාග පැත්තට ඇල කරල බිම දාල කණේ උලක් ගහලා ඒ උලෙන් හිටෝලා කකුල් දෙකෙන් වටේට කරකවනවා, ගල්වලින් තලල ඇඟ ඇතුලෙ ඇට කුඩු කරලා දානවා, ගින්නෙන් කකාරගත්තු තෙල්වලින් නාවනවාග බල්ලන්ට කන්න දානවා, උලේ ඉන්දවනවා, හිස ගසා දානවා, මා අතිනුත් මෙවැනි අපරාධ සිද්ධ වෙලා තියෙනවා, මේ අපරාධ තුළ තමයි මම ඉන්නෙත් ඉදින් රජවරුන් මාව හඳුනාගත්තොත් මාවත් අල්ලගෙන ගිහින් මේ විදිහේ විවිධාකාර දඬුවම් දේවිග මාවත් කසෙන් තලාවි වේවැලෙන් තලාවි දඬු මුගුරුවලින් තලාවි අත් කපලා දමාවි, කකුල් කපලා දමාවි, අත් කකුල් කපලා දමාවි, කණ කපාවි, නාසයත් කපාවි, කණ් නාසාත් කපාවි හිස් කබල චප්ප කරල දමාවි, හිස් කබලේ ඇටේ මතු වෙනකල් බොරළු දාල හූරාවි, යකඩ අඬුවකින් කට පළල් කරල ගිනි පන්දම් ඔබාවි, ඇඟෙ තෙල් පාන්කඩ ඔතල ගිනි තියාවි, අත්වල තෙල් පාන්කඩ ඔතල ගිනි තියාවි, බෙල්ලෙ ඉඳන් පහළට හම ගලෝල ඇදගෙන යාවි, බෙල්ලෙ ඉඳන් පහළටත්ල කකුලෙ ඉඳන් උඩටත් හම ගලෝල එකට ගැට ගසාවිග දණිස් දෙකෙත්ල වැළමිටි දෙකෙත් යකඩ උල් ගහල පොළවට හයි කරලල ගින්නෙන් රත් කරාවිල කොකු වලින් ඇණ ඇණ මස් ලේ විසුරුවාවිග මුළු ශරීරයේම මස් චූටි කෑලිවලට ඉරල දමාවිග ශරීරයෙ තැනින් තැන සිදුරු කරල ලෝදිය දමාවි. පැත්තට ඇල කරල බිම දාල කණේ උලක් ගහලාල ඒ උලේ හිටෝලාල කකුල් දෙකෙන් වටේට කරකවාවිග ගල්වලින් තලල ඇඟ ඇතුලෙ ඇට කුඩු කරල දමාවි, ගින්නෙන් කකාරගත්තු තෙල් වලින් නාවාවි, බල්ලන්ට කන්න දමාවි, උලේ ඉන්දවාවිග හිස ගසා දමාවි’ කියලාග පින්වත් මහණෙනිල බාලයා මේ ජීවිතය තුළදී ම දුක් දොම්නස් විඳවන දෙවෙනි කරුණ මෙයයි.

Wednesday, July 29, 2009

3.3.9. බාලපණ්ඩිත සූත්‍රය

( බාලයා හා පණ්ඩිතයා ගැන වදාළ දෙසුම )
මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමා විසින් කරවන ලද ආරාමයෙහිය. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියා භික්ෂුසංඝයා අමතා වදාළා. “පින්වතුන් වහන්ස” කියා ඒ භික්ෂූන්ද භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

“පින්වත් මහණෙනි, පවිටු බාලයා තුළ ඒ අසත්පුරුෂ බාල බව පෙන්වන ලක්ෂණ, ඒ අසත්පුරුෂ බාල බව දැනගත හැකි නිමිති, ඒ අසත්පුරුෂ බාල බව ඉස්මතු වෙන චරියාවන් තුනක් තියෙනවා. පින්වත් මහණෙනි, අසත්පුරුෂ බාලයා දුෂ්ට සිතුවිලිම යි සිතන්නේ. දුෂ්ට දේවල්ම යි කියන්නේ. දුෂ්ට වැඩම යි කරන්නේ. පින්වත් මහණෙනි, යම් හෙයකින් අසත්පුරුෂ බාලයා දුෂ්ට සිතුවිලි සිතන්නේ නැත්නම්, දුෂ්ට වචන කියන්නේ නැත්නම්, දුෂ්ට වැඩ කරන්නේ නැත්නම් සත්පුරුෂ පණ්ඩිතයෙකුට මේ ‛භවත් මොහු වනාහී අසත්පුරුෂයෙක් ය, බාලයෙක් ය’ කියලා හඳුනාගන්නේ කොහොමද? පින්වත් මහණෙනි, යම් හෙයකින් අසත්පුරුෂ බාලයා දුෂ්ට සිතුවිලි සිතනවාද, දුෂ්ට වචන කියනවාද, දුෂ්ට වැඩ කරනවාද, ඒ නිසාම යි ඔහුව සත්පුරුෂ නුවණැතියන් හඳුනාගන්නේ ‛මේ භවතා අසත්පුරුෂ බාලයා ය’ කියා.

පින්වත් මහණෙනි, ඒ අසත්පුරුෂ බාලයා මේ ජීවිතය තුළදී ම තුන් ආකාරයකින් දුක් දොම්නස් විඳිනවා. පින්වත් මහණෙනි, ඉදින් අසත්පුරුෂ බාලයා පිරිසක් මැද වාඩිවෙලා ඉන්නට පුළුවනි. වීදියක වාඩිවෙලා ඉන්න පුළුවනි. සිව් මංසලක වාඩිවෙලා ඉන්නට පුළුවනි. එහිදිත් ජනයා ඔහුගේ බාල ක්‍රියාවට ගැලපෙන දේවල් කතාබස් කරනවා අසන්නට ලැබෙනවා.

පින්වත් මහණෙනි, ඉදින් අසත්පුරුෂ බාලයා ප්‍රාණඝාත කරන කෙනෙක් වෙයිද, සොරකම් කරන කෙනෙක් වෙයිද, කාම මිත්‍යාචාරයේ යෙදෙන කෙනෙක් වෙයිද, බොරු කියන කෙනෙක් වෙයිද, මත්පැන්, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් වෙයිද, එතකොට පින්වත් මහණෙනි, බාලයාට මෙහෙම හිතෙනවා. ‛මේ මිනිස්සු දුෂ්චරිත පිළිබඳව ත් කතා බස් කරනවා නෙව. මේ දුෂ්චරිතයන් මා තුළ තියෙනවා. මාත් ඒ දුෂ්චරිත තුළ නෙව ඉන්නේ’ කියලා. පින්වත් මහණෙනි, බාලයා මෙලොවදී ම දුක් දොම්නස් විඳින පළමු කාරණාව මෙයයි.

මතු සම්බන්ධයි.............

Tuesday, July 28, 2009

අවසරයි

මව් තුමනී පිය තුමනී
අවසරයි අවසරයි
හැරදා යන්නට
අවසරයි අවසරයි

මවි රැකුමට ඇත සොයුරන්
වතුපිටි රැකුමට ඇත සොයුරන්
රට වට රැකුමට මා සොයුරන්
ඇත බුදූනේ නිවසේ

සාසන රැකුමට නැත සොයුරන්
නොපෙනී යයි දම් පදවැල්
විවර කරන්නට කාලයයි දම්
මව් තුමනී පිය තුමනී

එළිය කරන්නට ශක්තිය දෙන්නට
දම් පද පෙනෙනා සේ
ඔබද කරන්නෙමි මව් පිය සසුනේ
මා හරදා ගිහි ගේ

චමි

Friday, July 24, 2009

උපක්කිලේස සූත්‍රය

3. සුඤ්ඤත වග්ගෝ
3. සුඤ්ඤත වර්ගය
3.3.8. උපක්කිලේස සූත්‍රය
( උපක්ලේශ ගැන වදාළ දෙසුම )
මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ. ඒ කාලයෙහි කොසඹෑ නුවර භික්ෂූන් වහන්සේලා රණ්ඩු සරුවල් වෙලා, කෝලාහල ඇතිකරගෙන, වාද විවාද ඇතිකරගෙන එකිනෙකාට වචන නැමැති ආයුධවලින් විද ගනිමිනුයි වාසය කළේ. එතකොට එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව සිටගත්තා. එකත්පස්ව සිටගත් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා.

“ස්වාමීනී, මේ කොසඹෑ නුවර භික්ෂූන් වහන්සේලා රණ්ඩු අල්ලනවා. කෝලාහල කරගන්නවා. වාද විවාද කරගන්නවා. එකිනෙකාට වචන නැමැති ආයුධවලින් විදගන්නවා. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලා වෙත අනුකම්පා උපදවා වැඩමකරන සේක් නම් මැනවි.” භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව එම ඇරයුම ඉවසා වදාළා.

ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලා වෙත වැඩම කළා. වැඩම කොට ඒ භික්ෂූන්ට මෙය වදාළා. “කම් නැත, පින්වත් මහණෙනි, රණ්ඩුසරුවල් කරන්න එපා! කෝලාහල කරගන්න එපා! අර්බුද ඇතිකරගන්න එපා! වාද විවාද කරගන්න එපා!”

මෙසේ වදාළ කල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, ධර්මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ පසෙකට වී සිටින සේක්වා! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මෙයට මැදිහත් වීමට උත්සාහවත් නොවී භාවනානුයෝගී සුවයෙන් වැඩහිඳින සේක්වා! අපි මේ සණ්ඩු සරුවල් වලින්, කොලාහලයෙන්, අර්බුදයෙන්, විවාදයෙන් ප්‍රසිද්ධියට පත්වෙනවා.”

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවෙනි වතාවටත් ඒ භික්ෂූන් වහන්සේලා අමතා වදාළා. “කම් නැත, පින්වත් මහණෙනි, රණ්ඩුසරුවල් කරන්න එපා! කෝලාහල කරගන්න එපා! අර්බුද ඇතිකරගන්න එපා! වාද විවාද කරගන්න එපා!”

දෙවෙනි වතාවේදීත් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, ධර්මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ පසෙකට වී සිටින සේක්වා! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මෙයට මැදිහත් වීමට උත්සාහවත් නොවී භාවනානුයෝගී සුවයෙන් වැඩහිඳින සේක්වා! අපි මේ සණ්ඩු සරුවල්වලින්, කොලාහලයෙන්, අර්බුදයෙන්, විවාදයෙන් ප්‍රසිද්ධියට පත්වෙනවා.”

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවටත් ඒ භික්ෂූන් වහන්සේලා අමතා වදාළා. “කම් නැත, පින්වත් මහණෙනි, රණ්ඩුසරුවල් කරන්න එපා! කෝලාහල කරගන්න එපා! අර්බුද ඇතිකරගන්න එපා! වාද විවාද කරගන්න එපා!”

තුන්වෙනි වතාවේදීත් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, ධර්මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ පසෙකට වී සිටින සේක්වා! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මෙයට මැදිහත් වීමට උත්සාහවත් නොවී භාවනානුයෝගී සුවයෙන් වැඩහිඳින සේක්වා! අපි මේ සණ්ඩු සරුවල්වලින්, කොලාහලයෙන්, අර්බුදයෙන්, විවාදයෙන් ප්‍රසිද්ධියට පත්වෙනවා.”

එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවා ගෙන පාත්‍රයද ගෙන කොසඹෑ නුවරට පිඬු පිණිස වැඩම කළා. කොසඹෑ නුවර පිඬු පිණිස වැඩම කොට දානයෙන් පසු පිණ්ඩපාතයෙන් වැළකී තමන් වහන්සේගේ කුටිය අස්පස් කොට, පාත්‍රය හා සිවුරුද රැගෙන සිටගෙන වැඩසිටියදී ම මෙම ගාථාවන් වදාළ සේක.

“මේ සමාන අදහස් ඇති පිරිස මහා ශබ්දයක් කරනවා. මේ කාටවත් හිතෙන්නේ නෑ තමන් බාලයෙක් නේද කියලා. සංඝභේදය සිදුවෙද්දී මේ එක්කෙනෙකුටවත් සිතෙන්නේ නෑ තමා නිසා නේද මේ බරපතල දේ සිදුවෙන්නේ කියලා.

සිහිමුලාව සිටින ඔවුන් මහා නුවණැත්තන් විදිහට සිතාගෙනයි අර්බුද ඇතිවෙන කරුණු රැස් කර කර කියවන්නේ. යම්තාක් කට පළල් කොට කතා කරන්නට කැමති වෙද්ද, ඒ තාක් මේ උදවිය දොඩවනවා.

‛මට ආක්‍රෝෂ කළා. මාව පෙලුවා. මාව පැරැද්දුවා. මා සතු දේවල් පැහැරගත්තා’ කිය කියා යම් කෙනෙක් සිතෙහි වෛර බැඳගන්නවා නම්, ඔවුන්ගේ ඒ වෛරය සංසිඳෙන්නේ නෑ.

‛මට ආක්‍රෝෂ කළා. මාව පෙලුවා. මාව පැරැද්දුවා. මා සතු දේවල් පැහැරගත්තා’ කිය කියා යම් කෙනෙක් සිතෙහි වෛර බැඳගන්නේ නැත්නම් නම්, ඔවුන්ගේ ඒ වෛරය සංසිඳීයනවා.

මේ ලෝකයේ කවරදාකවත් වෛර කිරීමෙන් වෛරය සංසිඳීයන්නේ නෑ. වෛර නොකිරීමෙන්ම යි සංසිඳී යන්නේ. මෙය සනාතන සත්‍යයක්.

ඔය කෝලාහල කරන උදවිය දන්නෙ නෑ මේ කෝලාහල නිසාම අපි වැනසිලා යනවා කියලා. නමුත් යම් දිනෙක මේ කෝලාහල නිසා තමන් වැනසී යන බව තේරුම් ගන්නවා නම් ඒ හේතුවෙන් තමයි කෝලාහල සංසිඳී යන්නේ.

මිනිසුන්ගේ ඇට බිඳලා, පණ නසන හොරු ඉන්නවා. ගවයන්, අසුන්, ධන ධාන්‍ය පැහැරගන්නා හොරු ඉන්නවා. රටවල් මංකොල්ලකන හොරු ඉන්නවා. ඔවුන්ගේ පවා සමඟියක් තියෙනවා. නුඹලාට සමඟි වෙන්නට බැරි මක් නිසාද?

ඉදින් ඇසුරු කරන්නට ඉතා සුදුසු වූ, ස්ථානෝචිත ප්‍රඥාව ඇති, යහපත් ගති පැවතුම් ඇති යහළුවෙක් ලැබුනොත් ඒ ප්‍රාඥ වූ කලණ මිතුරා සමඟ තිබෙන හැම කරදරයක්ම මැඩගෙන සතුටින් හා සිහියෙන් යුක්තව ඔහු සමඟ වාසය කරන්නට ඕන.

නමුත් ඇසුරු කරන්නට ඉතා සුදුසු වූ, ස්ථානෝචිත ප්‍රඥාව ඇති, යහපත් ගති පැවතුම් ඇති, ප්‍රාඥ වූ කලණ මිතුරු වූ යහළුවෙක් නොලැබුනොත්, දිනපු රට අත්හැර හුදෙකලාවේ යන රජෙක් වගේ, වනාන්තරයෙහි හුදෙකලාවේ වාසය කළ මාතංග නම් හස්තිරාජයා වගේ තනියම යි ඉන්න ඕන.

හුදෙකලාවේ හැසිරීමම යි ශ්‍රේෂ්ඨ වන්නේ. අඥාන බාලයන්ගේ යාළු කමෙන් ඇති ඵලක් නෑ. තනියම වාසය කිරීම හේතුවෙන් ඔහුට පව් රැස්වෙන්නේ නෑ. වනාන්තරයේ හුදෙකලාවේ වාසය කරන මාතංග හස්තිරාජයා වගේ උත්සාහ නැතුව තනියමයි ඉන්න තියෙන්නේ.”

ඉතින් භාග්‍යවතුන් වහන්සේ සිටගෙන වැඩසිටියදී ම මේ ගාථා වදාරා බාලකලෝණකාර නම් ගමට වැඩම කළා. ඒ දිනවල ආයුෂ්මත් භගු තෙරුන් වැඩසිටියේ බාලකලෝණකාර ගමෙහිය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දුරින්ම වඩින අයුරු ආයුෂ්මත් භගු තෙරුන් දුටුවා. දැක ආසනයක් පැණෙව්වා. පා දෝවනය කරන්නට පැන් පිළියෙල කළා. භාග්‍යවතුන් වහන්සේ පැණවූ අසුනෙහි වැඩසිටියා. වැඩහිඳ පා දෝවනය කළා. ආයුෂ්මත් භගු තෙරුන් භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වැඳ එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හුන් ආයුෂ්මත් භගු තෙරුන් හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

“පින්වත් භික්ෂුව, කොහොමද, ඉවසන්නට පුළුවනිද? කොහොමද, යැපෙන්නට පුළුවනිද? කොහොමද, පිණ්ඩපාතයෙන් අපහසුවක් නැද්ද?” “භාග්‍යවතුන් වහන්ස, ඉවසන්නට පුළුවනි. භාග්‍යවතුන් වහන්ස, යැපෙන්නටත් පුළුවනි. භාග්‍යවතුන් වහන්ස, පිණ්ඩපාතයෙන් කිසි අපහසුවක් නෑ.”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් භගු තෙරුන් හට දැහැමි කතාවෙන් කරුණු දක්වා, සමාදන් කරවා, උනන්දු කරවා, පහදවා, හුනස්නෙන් නැගී පාචීනවංස නම් වනය කරා වැඩම කළා.

ඒ දිනවල ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ද, ආයුෂ්මත් නන්දිය තෙරුන්ද, ආයුෂ්මත් කිම්බිල තෙරුන්ද වාසය කළේ පාචීනවංස නැමැති වනාන්තරයේ. එහිදී වනාරක්ෂක තැනැත්තා දුරින්ම වඩින භාග්‍යවතුන් වහන්සේව දැක්කා. දැක භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “මහා ශ්‍රමණයන් වහන්ස, මේ අභය භූමියට ඇතුළු වන්නට එපා! මේ වනයේ තමන් කැමති පරිදි බණ භාවනා කරමින් සිටින කුලපුත්‍රයන් තුන් දෙනෙක් වාසය කරනවා. උන්වහන්සේලාව අපහසුවට පත්කරන්නට එපා!”

එතකොට ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ වනාරක්ෂක තැනැත්තා භාග්‍යවතුන් වහන්සේ සමඟ කරන මේ කතාව ඇසුවා. අසා ඒ වනාරක්ෂක තැනැත්තාට මෙය පැවසුවා. “ප්‍රිය ආයුෂ්මත් වනපාලය, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව වළක්වන්නට එපා! අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේයි මේ වැඩම කරලා ඉන්නේ.”

ඉතින් ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් ආයුෂ්මත් නන්දිය තෙරුන් හා ආයුෂ්මත් කිම්බිල තෙරුන් වෙත පැමිණියා. පැමිණ ආයුෂ්මත් නන්දිය තෙරුන්ට හා ආයුෂ්මත් කිම්බිල තෙරුන්ට මෙය පැවසුවා. “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඉක්මනින් වඩින්න. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඉක්මනින් වඩින්න. අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ වැඩම කළ සේක” කියලා. එතකොට ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ද, ආයුෂ්මත් නන්දිය තෙරුන්ද, ආයුෂ්මත් කිම්බිල තෙරුන්ද භාග්‍යවතුන් වහන්සේට පෙරගමන් කොට එක නමක් භාග්‍යවතුන් වහන්සේගේ පා සිවුරු පිළිගත්තා. එක නමක් භාග්‍යවතුන් වහන්සේට වැඩසිටින්නට ආසනයක් පැණෙව්වා. එක නමක් පා සෝදන්නට දිය බඳුනක් පිළියෙල කළා. භාග්‍යවතුන් වහන්සේ පණවන ලද අසුනෙහි වැඩසිටියා. වැඩහිඳ පා දෝවනය කළා. ඒ ආයුෂ්මත් තෙරුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

“පින්වත් අනුරුද්ධයෙනි, කොහොමද, ඉවසන්නට පුළුවනිද? කොහොමද, යැපෙන්නට පුළුවනිද? කොහොමද, පිණ්ඩපාතයෙන් අපහසුවක් නැද්ද?” “භාග්‍යවතුන් වහන්ස, ඉවසන්නට පුළුවනි. භාග්‍යවතුන් වහන්ස, යැපෙන්නටත් පුළුවනි. භාග්‍යවතුන් වහන්ස, පිණ්ඩපාතයෙන් කිසි අපහසුවක් නෑ.”

“කොහොමද, පින්වත් අනුරුද්ධයෙනි, සමඟිව, සමඟියෙන් සතුටු වෙමින්, වාද විවාද නොකරමින්, කිරියි වතුරයි එක්වුනා වගේ එකිනෙකා දෙස ප්‍රිය ඇසින් බලමින්ද, වාසය කරන්නේ?”

“ස්වාමීනී, ඒකාන්තයෙන්ම අපි සමඟිව, සමඟියෙන් සතුටු වෙමින්, වාද විවාද නොකරමින්, කිරියි වතුරයි එක්වුනා වගේ එකිනෙකා දෙස ප්‍රිය ඇසින් බලමිනුයි වාසය කරන්නේ.”

“පින්වත් අනුරුද්ධයෙනි, ඔබ කොයි අයුරින්ද, සමඟිව, සමඟියෙන් සතුටු වෙමින්, වාද විවාද නොකරමින්, කිරියි වතුරයි එක්වුනා වගේ එකිනෙකා දෙස ප්‍රිය ඇසින් බලමින් වාසය කරන්නේ?”

“ස්වාමීනී, මට මෙහිදී මෙහෙමයි සිතෙන්නේ. ‛ඒකාන්තයෙන්ම මට ලාභයක්ම යි. ඒකාන්තයෙන්ම මට යහපත් ලැබීමක්ම යි. මෙබඳු වූ ගතිගුණ ඇති සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමඟ වාසය කරන්නට ලැබුණා නෙව’ කියලා. එතකොට ස්වාමීනී, මා තුළ මේ ආයුෂ්මතුන් වහන්සේලා කෙරෙහි ඉදිරියෙහිත්, නැති විටත්, මෛත්‍රී කාය කර්ම පිහිටලා තියෙනවා. මෛත්‍රී වචී කර්ම ....'(පෙ)'.... මා තුළ මේ ආයුෂ්මතුන් වහන්සේලා කෙරෙහි ඉදිරියෙහිත්, නැති විටත්, මෛත්‍රී මනෝ කර්ම පිහිටලා තියෙනවා. එතකොට ස්වාමීනී, මට මෙහෙමත් සිතෙනවා. මං මගේ සිත බැහැරින් තබලා මේ ආයුෂ්මතුන් වහන්සේලාගේ සිත සමඟ එක් වී වසන්නට ඕන කියලා. එතකොට ස්වාමීනී, ඒ මම මගේ සිත බැහැර කොට මේ ආයුෂ්මතුන් වහන්සේලාගේ සිත සමඟ එක් වී වාසය කරනවා. එතකොට ස්වාමීනී, අපගේ වෙනස්කම තියෙන්නේ ශරීරවලින් විතරයි. නමුත් අපේ සිත එකක් කියලයි හැඟෙන්නේ.”

ආයුෂ්මත් නන්දිය තෙරුන්ද ....'(පෙ)'.... ආයුෂ්මත් කිම්බිල තෙරුන්ද භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, මටත් සිතෙන්නේ මෙහෙමයි. ‛ඒකාන්තයෙන්ම මට ලාභයක්ම යි. ඒකාන්තයෙන්ම මට මනා වූ ලාභයක්ම යි. ඒ මම ....'(පෙ)'.... සිතින් එකයි කියලයි හැඟෙන්නේ.”

“ස්වාමීනී, අපි ඔය විදිහටයි සමඟිව, සමඟියෙන් සතුටු වෙමින්, වාද විවාද නොකරමින්, කිරියි වතුරයි එක්වුනා වගේ එකිනෙකා දෙස ප්‍රිය ඇසින් බලමින් වාසය කරන්නේ.”

“සාදු! සාදු! පින්වත් අනුරුද්ධයෙනි, කොහොමද, පින්වත් අනුරුද්ධයෙනි, ඔබ වාසය කරන්නේ අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුක්තව, දහමට දිවි පිදීමෙන්ද?”

“ස්වාමීනී, ඒකාන්තයෙන්ම අපි අප්‍රමාදීව, කෙලෙස් තවන වීරියෙන් යුක්තව දහමට දිවි පුදායි වාසය කරන්නේ.”

“පින්වත් අනුරුද්ධයෙනි, අප්‍රමාදීව, කෙලෙස් තවන වීරියෙන් යුක්තව දහමට දිවි පුදා ඔබ වාසය කරන්නේ කොයි අයුරින්ද?”

“ස්වාමීනී, මෙහි වාසය කරන අප අතරින් යම් කෙනෙක් පළමුවෙන්ම ගමෙන් පිණ්ඩපාතේ කරගෙන ආපසු හැරී එනවා නම්, ඒ භික්ෂුව තමයි ආසන පණවන්නේ. පානීය පාරිභෝජනීය පැන් පිළියෙල කරන්නේ. ඉඳුල් භාජනය තබන්නේ. යමෙක් ගමෙන් පිඬු සිඟාගෙන පහුවෙලා එනවා නම්, වළඳා ඉතිරි වූ යමක් ඇද්ද, ඒ භික්ෂුව කැමති නම් එය වළඳනවා. වළඳන්නට අවශ්‍ය නැත්නම් තණකොළ නැති බිමක දමනවා. එක්කො ප්‍රාණීන් නැති ජලයේ පා කර යවනවා. ඒ භික්ෂුව තමයි ආසන නැවත හකුලා තබන්නේ. පානීය පාරිභෝජනීය දිය බඳුන් අස් කරන්නේ. ඉඳුල් භාජනය සෝදා තැන්පත් කරන්නේ. දන් ශාලාව අමදින්නේ. එහිදී පැන් කලය හෝ පරිභෝග කරන පැන් බඳුන හිස් වෙලා තියෙනවා කවුරුවත් දකිනවා නම්, ඒකට පැන් පුරවනවා. ඉදින් ඔහුට තනියම එය ඔසවන්නට නොහැකි නම්, අතින් අඬගසා අනිත් කෙනෙකුගේ උදව්වෙන් එය ඔසවා තබනවා. ස්වාමීනී, අපි ඒ හේතුවෙන්වත් වචන කතාබහක් කරන්නේ නෑ.

නමුත් ස්වාමීනී, අපි දවස් පහකට වතාවක් තුන් යම රාත්‍රිය පුරාවට ධර්ම කතාවෙහි යෙදී වාසය කරනවා. ස්වාමීනී, අපි ඔය විදිහටයි අප්‍රමාදීව, කෙලෙස් තවන වීරියෙන් යුතුව, දහමට දිවි පුදා වාසය කරන්නේ.”

“සාදු! සාදු! පින්වත් අනුරුද්ධ, ඉතින් පින්වත් අනුරුද්ධයෙනි, ඔය විදිහට අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුතුව, දහමට දිවි පුදා වාසය කරද්දී මනුස්ස ධර්මයන්ට වඩා උතුම් වූ ආර්ය වූ ඤාණ දර්ශන විශේෂයක් උපදවා ගෙන පහසුවෙන් වාසය කිරීමක් තියෙනවාද?”

“ස්වාමීනී, අපි මෙහි අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුතුව, දහමට දිවි පුදා වාසය කරද්දී ආලෝකයත්, දිවැසින් රූප දැකීමත් ඇති කරගත්තා. ඒ වුණාට ඒ අපගේ ආලෝකය වැඩිවෙලාවක් පවතින්නේ නෑ. අතුරුදහන් වෙලා යනවා. රූප දර්ශනයටත් ඒකයි වෙන්නේ. ඒ නිමිත්ත සම්පූර්ණයෙන් වැටහෙන්නේ නෑ.”

“පින්වත් අනුරුද්ධයෙනි, ඔබ විසින් ඒ නිමිත්ත සම්පූර්ණයෙන් ම වටහාගත යුතුයි. පින්වත් අනුරුද්ධයෙනි, මාත් සම්බුද්ධත්වයට කලින්, සම්බුදු නොවී සිටියදී ම බෝධිසත්ව වශයෙන් සිටියදී ම, ආලෝකයත්, රූප දර්ශනත් හඳුනා ගත්තා. මට ඇති වූ ඒ ආලෝකය බොහෝ වේලාවක් තියෙන්නේ නෑ. අතුරුදහන් වෙනවා. රූප දර්ශනයත් එහෙමයි. එතකොට පින්වත් අනුරුද්ධ මට මෙහෙමයි සිතුනේ. යම් කරුණකින් මට ඇති වූ ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙනවාද, ඒකට හේතුව කුමක්ද? කාරණය කුමක්ද? කියලා.

එතකොට පින්වත් අනුරුද්ධයෙනි, මට මෙහෙම සිතුනා. ‛මා තුළ සැකය ඇතිවෙලා තියෙනවා. සැකය ඇතිවීම නිසයි ඒ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. එතකොට පින්වත් අනුරුද්ධ, ඒ මං අප්‍රමාදීව, කෙලෙස් තවන වීරියෙන් යුතුව, දහමට දිවි පුදා වාසය කරද්දී, ආලෝකයත්, රූප දර්ශනයත් හඳුනා ගත්තා. නමුත් ඒ ආලෝකයත්, රූප දර්ශනයත් වැඩිකල් නොගිහින් අතුරුදහන් වෙනවා. එතකොට පින්වත් අනුරුද්ධ මම මෙම හිතුවා. යම් කරුණකින් මට ඇති වූ ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙනවාද, ඒකට හේතුව කුමක්ද? කාරණය කුමක්ද? කියලා.

එතකොට පින්වත් අනුරුද්ධයෙනි, මට මෙහෙම සිතුනා. ‛මා තුළ මෙනෙහි නොකිරීම ඇතිවෙනවා. ඒ මෙනෙහි නොකිරීම හේතුවෙනුයි සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. එතකොට මං තුළ නැවත සැකය නූපදින විදිහට, මනසිකාර නැති බව නූපදින විදිහට කටයුතු කරනවා.

ඒ මං පින්වත් අනුරුද්ධ, ....'(පෙ)'.... එතකොට පින්වත් අනුරුද්ධ මං මෙහෙම හිතුනා. ‛මා තුළ ථීනමිද්ධය ඇතිවෙලා තියෙනවා. ථීනමිද්ධය නිසයි මගේ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. එතකොට මං තුළ නැවත සැකය නූපදින විදිහට, මනසිකාර නැති බව නූපදින විදිහට, ථීනමිද්ධය නූපදින විදිහට කටයුතු කරනවා.

එතකොට පින්වත් අනුරුද්ධ, මා තුළ භය තැති ගැනීම් ඇති වුණා. ඒ භය තැතිගැනීම නිසයි, මගේ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. පින්වත් අනුරුද්ධ ඒක මේ වගේ දෙයක්. කාන්තාර මාර්ගයකට බැසගත් පුද්ගලයෙක් ඉන්නවා. ඔහුගේ දෙපැත්තේ වධකයෝ පැමිණිලා ඉන්නවා. එතකොට ඒ හේතුවෙන් ඔහුට බිය තැතිගැනීම් ඇතිවෙනවා නේද? පින්වත් අනුරුද්ධය, ඔය විදිහටයි මා තුළ බිය තැතිගැනීම් හටගත්තේ. ඒ භය තැතිගැනීම නිසයි, මගේ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. එතකොට මං තුළ නැවත සැකය නූපදින විදිහට, මනසිකාර නැති බව නූපදින විදිහට, ථීනමිද්ධය නූපදින විදිහට, භය තැති ගැනීම නූපදින විදිහට කටයුතු කරනවා.

එතකොට පින්වත් අනුරුද්ධ, මා තුළ සතුටින් ඉපිල යාම ඇතිවුනා. ඒ සතුටින් ඉපිල යාම නිසයි, මගේ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. පින්වත් අනුරුද්ධ ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් එක නිධානයක් හොයද්දී, එකවරම නිධාන පහක් හම්බවෙනවා වගෙයි. ඒ හේතුවෙන් ඔහුගේ සිත බලවත්ව සතුටින් ඉපිල යනවා. පින්වත් අනුරුද්ධය, ඔය විදිහටයි මා තුළ සතුටින් ඉපිල යාම ඇති වුනේ. ඒ සතුටින් ඉපිල යාම නිසයි මගේ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. එතකොට මං තුළ නැවත සැකය නූපදින විදිහට, මනසිකාර නැති බව නූපදින විදිහට, ථීනමිද්ධය නූපදින විදිහට, භය තැති ගැනීම නූපදින විදිහට, සතුටින් ඉපිල යාම නූපදින විදිහට කටයුතු කරනවා.

එතකොට පින්වත් අනුරුද්ධ, මා තුළ කයට ලොකු වෙහෙසක් ඇති වුනා. ඒ කයට ඇති වූ වෙහෙස නිසයි, මගේ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. එතකොට මං තුළ නැවත සැකය නූපදින විදිහට, මනසිකාර නැති බව නූපදින විදිහට, ථීනමිද්ධය නූපදින විදිහට, භය තැති ගැනීම නූපදින විදිහට, සතුටින් ඉපිල යාම නූපදින විදිහට, කායික වෙහෙස නූපදින විදිහට කටයුතු කරනවා.

එතකොට පින්වත් අනුරුද්ධ, මා තුළ අධික විදිහට වීරිය ඇතිවුනා. ඒ අධික වීරිය නිසයි, මගේ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. පින්වත් අනුරුද්ධයෙනි, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් අත් දෙක දැඩි කොට වටුකුරුල්ලෙක්ව හයියෙන් අල්ලනවා. එතකොට ඌ එතනම මැරිලා වැටෙනවා. පින්වත් අනුරුද්ධයෙනි, ඔය විදිහේ දෙයක් තමයි මට ත් වුනේ. මා තුළ අධික විදිහේ වීරියක් ඇතිවුනා. ඒ අධික වූ විරිය නිසා ම යි මගේ සමාධිය නැතිවුනේ. ....'(පෙ)'.... එතකොට මං තුළ නැවත සැකය නූපදින විදිහට, මනසිකාර නැති බව නූපදින විදිහට, ථීනමිද්ධය නූපදින විදිහට, භය තැති ගැනීම නූපදින විදිහට, සතුටින් ඉපිල යාම නූපදින විදිහට, කායික වෙහෙස නූපදින විදිහට, අධික වීරිය නූපදින විදිහට කටයුතු කරනවා.

එතකොට පින්වත් අනුරුද්ධ, මා තුළ වීරිය අතිශයින්ම ලිහිල් වීම ඇති වුනා. ඒ වීරිය හොඳටම ලිහිල් වීම නිසයි, මගේ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. පින්වත් අනුරුද්ධයෙනි, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් අත් දෙක හොඳටම ලිහිල් කොට වටුකුරුල්ලෙක්ව අල්ලන්න යනවා. එතකොට ඌ පියාඹා යනවා. පින්වත් අනුරුද්ධයෙනි, ඔය විදිහේ දෙයක් තමයි මටත් වුනේ. මා තුළ හොඳට ලිහිල් වූ වීරියක් ඇතිවුණා. ඒ හොඳටම ලිහිල් වූ වීරිය නිසාම යි මගේ සමාධිය නැතිවුනේ. ....'(පෙ)'.... එතකොට මං තුළ නැවත සැකය නූපදින විදිහට, මනසිකාර නැති බව නූපදින විදිහට, ථීනමිද්ධය නූපදින විදිහට, භය තැති ගැනීම නූපදින විදිහට, සතුටින් ඉපිල යාම නූපදින විදිහට, කායික වෙහෙස නූපදින විදිහට, අධික වීරිය නූපදින විදිහට, හොඳටම ලිහිල් වූ වීරිය නූපදින විදිහට කටයුතු කරනවා.

එතකොට පින්වත් අනුරුද්ධ, මා තුළ ආලෝක දර්ශන ආදිය පිණිස තෘෂ්ණාවක් ඇති වුණා. ඒ තෘෂ්ණාව නිසයි, මගේ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. එතකොට මං තුළ නැවත සැකය නූපදින විදිහට, මනසිකාර නැතිබව නූපදින විදිහට, ථීනමිද්ධය නූපදින විදිහට, භය තැති ගැනීම නූපදින විදිහට, සතුටින් ඉපිල යාම නූපදින විදිහට, කායික වෙහෙස නූපදින විදිහට, අධික වීරිය නූපදින විදිහට, හොඳටම ලිහිල් වූ වීරිය නූපදින විදිහට, තෘෂ්ණාව නූපදින විදිහට කටයුතු කරනවා.

එතකොට පින්වත් අනුරුද්ධ, මා තුළ විවිධාකාර සඤ්ඤාවන් ඇතිවුනා. ඒ නා නා සඤ්ඤාවන් නිසයි, මගේ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. එතකොට මං තුළ නැවත සැකය නූපදින විදිහට, මනසිකාර නැතිබව නූපදින විදිහට, ථීනමිද්ධය නූපදින විදිහට, භය තැති ගැනීම නූපදින විදිහට, සතුටින් ඉපිල යාම නූපදින විදිහට, කායික වෙහෙස නූපදින විදිහට, අධික වීරිය නූපදින විදිහට, හොඳටම ලිහිල් වූ වීරිය නූපදින විදිහට, තෘෂ්ණාව නූපදින විදිහට, නානා සඤ්ඤාවන් නූපදින විදිහට කටයුතු කරනවා.

පින්වත් අනුරුද්ධයෙනි, ඒ මං අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුක්තව, දහමට දිවි පුදා වාසය කරද්දී, ආලෝකයත්, රූප දර්ශනයත් හඳුනා ගත්තා. නමුත් ඒ ආලෝකයත්, රූප දර්ශනයත් වැඩිකල් නො ගිහින් අතුරුදහන් වෙනවා. එතකොට පින්වත් අනුරුද්ධ මම මෙම හිතුවා. යම් කරුණකින් මට ඇති වූ ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙනවා නම් ඒකට හේතුව කුමක්ද? කාරණය කුමක්ද? කියලා.

එතකොට පින්වත් අනුරුද්ධයෙනි, මට මෙහෙම සිතුනා. ‛මා තුළ එකම විදිහේ රූප මෙනෙහි කරන්නට අධිකව වෑයම් කිරීම ඇතිවුණා. ඒ එකම විදිහේ රූප මෙනෙහි කරන්නට අධිකව වෑයම් කිරීම හේතුවෙනුයි සමාධිය නැතිවුනේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වුනේ. එතකොට මං තුළ නැවත සැකය නූපදින විදිහට, මනසිකාර නැති බව නූපදින විදිහට, ථීනමිද්ධය නූපදින විදිහට, භය තැති ගැනීම නූපදින විදිහට, සතුටින් ඉපිල යාම නූපදින විදිහට, කායික වෙහෙස නූපදින විදිහට, අධික වීරිය නූපදින විදිහට, හොඳටම ලිහිල් වූ වීරිය නූපදින විදිහට, තෘෂ්ණාව නූපදින විදිහට, ඒ නානා සඤ්ඤාවන් නූපදින විදිහට, එකම විදිහේ රූප මෙනෙහි කරන්නට අධික ව වෑයම් කිරීම නූපදින විදිහට කටයුතු කරනවා.

පින්වත් අනුරුද්ධයෙනි, ඒ මම සැකය සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ සැකය අත්හැරියා. මෙනෙහි නොකිරීම සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ අමනසිකාරය අත්හැරියා. ථීනමිද්ධය සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ ථීනමිද්ධය අත්හැරියා. භය තැතිගැනීම සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ භය තැතිගැනීම අත්හැරියා. සතුටින් සිත ඉපිල යාම සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ සතුටින් සිත ඉපිලයාම අත්හැරියා. කායික වෙහෙස සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ කායික වෙහෙස අත්හැරියා. අධික ලෙස ගන්නා වීරිය සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ අධික ලෙස ගන්නා වීරිය අත්හැරියා. ලිහිල්ව ගත් වීරිය සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ ලිහිල්ව ගත් වීරිය අත්හැරියා. තෘෂ්ණාව සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ තෘෂ්ණාව අත්හැරියා. නානාත්ම සඤ්ඤාව සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ නානාත්ම සඤ්ඤාව අත්හැරියා. එකම විදිහේ රූප මෙනෙහි කරන්නට අධිකව වෑයම් කිරීම සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ එකම විදිහේ රූප මෙනෙහි කරන්නට අධිකව වෑයම් කිරීම අත්හැරියා.

පින්වත් අනුරුද්ධය, ඒ මම අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුක්තව දහමට දිවි පුදා වාසය කරද්දී, ආලෝකය හඳුනාගන්නවා. නමුත් රූප දකින්නේ නෑ. ඇතැම්විට රූප දකිනවා. නමුත් ආලෝකය හඳුනන්නේ නෑ. ඇතැම් විට මුළු රාත්‍රියමත්, මුළු දහවලත්, මුළු රෑ දවල් දෙකෙහිමත් ඔය විදිහයි. එතකොට පින්වත් අනුරුද්ධ මට මෙහෙම හිතුණා. ‛මුළු රැයත්, මුළු දහවලත්, මුළු රෑ දහවල් දෙකෙහිත් මං ආලෝකය හඳුනාගන්නවා නම්, රූප දකින්නේ නැත්නම්, ඒ වගේම රූප දකිනවා නම්, ආලෝකය හඳුනන්නේ නැත්නම් මෙයට හේතුව කුමක්ද? කාරණය කුමක්ද? කියලා.’ එතකොට පින්වත් අනුරුද්ධයෙනි, මට මේ අදහස ඇතිවුණා. යම් වෙලාවක මං රූප නිමිත්ත මෙනෙහි නොකොට ආලෝක නිමිත්ත මෙනෙහි කරනවා නම් ඒ වෙලාවට මං ආලෝකයයි හඳුනාගන්නේ. රූප දකින්නේ නෑ. යම් වෙලාවක ආලෝක මෙනෙහි නොකොට, රූප නිමිත්ත මෙනෙහි කරනවා නම් ඒ වෙලාවට මං රූප දකිනවා. ආලෝකය හඳුනාගන්නේ නෑ. මුළු රැයත්, මුළු දහවලත්, මුළු රෑ දහවලත් ඔය විදිහයි.

පින්වත් අනුරුද්ධය, ඒ මම අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුක්තව දහමට දිවි පුදා වාසය කරද්දී, මුළු රැයත්, මුළු දහවලත්, මුළු රෑ දහවලත් ආලෝකය හඳුනාගන්නවා. රූප දකින්නේ ටිකයි. අප්‍රමාණ වූ ආලෝකය හඳුනාගන්නවා. ඇතැම් විට අප්‍රමාණ වූ රූප දකිනවා. එතකොට පින්වත් අනුරුද්ධය මට මෙහෙම හිතුණා. මුළු රැයත්, මුළු දහවලත්, මුළු රෑ දහවලත් මං ස්වල්ප වූ ආලෝකයක් හඳුනාගන්නවා නම්, ස්වල්ප වූ රූප දකිනවා නම්, අප්‍රමාණ ආලෝකයක් හඳුනාගන්නවා නම්, අප්‍රමාණ රූප දකිනවා නම්, එයට හේතුව කුමක්ද? ප්‍රත්‍ය කුමක්ද?

එතකොට පින්වත් අනුරුද්ධය, මට මෙහෙමයි සිතුනේ. යම් වෙලාවක සමාධිය පැතිරීම තිබෙන්නේ ටිකයිද, ඒ වෙලාවට මගේ දිවැස තිබෙන්නෙත් ටිකයි. ඒ මං ස්වල්ප වූ දිවැසින් තමයි රූප ටිකක් දකින්නේ. ආලෝකය ටිකක් හඳුනාගන්නේ. යම් වෙලාවක මා අප්‍රමාණ වූ සමාධියක් පතුරනවාද, ඒ වෙලාවට මගේ දිවැසත් ප්‍රමාණ රහිතයි. ඒ මං ප්‍රමාණ රහිත වූ දිවැසින් අප්‍රමාණ ආලෝකය හඳුනාගන්නවා. අප්‍රමාණ රූප දකිනවා. මුළු රැයත්, මුළු දහවලත්, මුළු රෑ දහවලත් ඔය විදිහයි.

පින්වත් අනුරුද්ධය, යම් විටෙක සැකය සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ සැකය ප්‍රහාණය වුණාද, අමනසිකාරය සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ අමනසිකාරය ප්‍රහාණය වුණාද, ථීනමිද්ධය සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ ථීනමිද්ධය ප්‍රහාණය වුණාද, භය තැතිගැනීම සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ භය තැතිගැනීම ප්‍රහාණය වුණාද, සිත සතුටින් ඉපිල යාම සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ සතුටින් ඉපිල යාම ප්‍රහාණය වුණාද, කායික වෙහෙස සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ කායික වෙහෙස ප්‍රහාණය වුණාද, ඉතා දැඩිව ගත් වීරිය සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ ඉතා දැඩිව ගත් වීරිය ප්‍රහාණය වුණාද, ඉතා ලිහිල්ව ගත් වීරිය සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ ඉතා ලිහිල්ව ගත් වීරිය ප්‍රහාණය වුණාද, තෘෂ්ණාව සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ තෘෂ්ණාව ප්‍රහාණය වුණාද, නානාත්ම සඤ්ඤාව සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ නානාත්ම සඤ්ඤාව ප්‍රහාණය වුණාද, එකම විදිහේ රූප මෙනෙහි කරන්නට අධිකව වෑයම් කිරීම සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ එකම විදිහේ රූප මෙනෙහි කරන්නට අධිකව වෑයම් කිරීම ප්‍රහාණය වුණාද, එතකොට පින්වත් අනුරුද්ධයෙනි, මට මෙහෙමයි සිතුනේ. ‛මාගේ සිතේ යම් උපක්ලේශයන් තිබුණා නම් දැන් ඒවා ප්‍රහාණය වෙලයි තියෙන්නේ. එහෙම නම් මං දැන් තුන් ආකාරයකින් සමාධිය වඩන්නට ඕන’ කියලා.

එතකොට පින්වත් අනුරුද්ධයෙනි, විතර්ක විචාර සහිතවත් සමාධිය වැඩුවා, විතර්ක නැතුව විචාර මාත්‍රයකිනුත් සමාධිය වැඩුවා. විතර්ක නැතුව විචාර නැතුව සමාධිය වැඩුවා. ප්‍රීතිය සහිතවත් සමාධිය වැඩුවා. ප්‍රීතිය රහිතවත් සමාධිය වැඩුවා. සැප සහගතවත් සමාධිය වැඩුවා. උපේක්ෂා සහගතවත් සමාධිය වැඩුවා.

පින්වත් අනුරුද්ධයෙනි, යම් විටෙක මා විසින් විතර්ක සහිත වූ, විචාර සහිත වූ සමාධිය වැඩුවාද, විතර්ක රහිත වූත්, විචාර මාත්‍ර වූත් සමාධිය වැඩුවාද, විතර්ක රහිත වූත්, විචාර රහිත වූත් සමාධිය වැඩුවාද, ප්‍රීතිය සහිත සමාධිය වැඩුවාද, ප්‍රීතිය රහිත සමාධිය වැඩුවාද, සැප සහිත සමාධිය වැඩුවාද, උපේක්ෂා සහගත සමාධිය වැඩුවාද එතකොට මට ඤාණ දර්ශනය ඇතිවුනා. මාගේ චිත්ත විමුක්තිය නොවෙනස් වන ස්වභාවයකින් යුක්තයි. මෙය මාගේ අන්තිම උපතයි. නැවත පුනර්භවයක් නැතැ’යි කියලා.

භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ඒ ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

උපක්ලේශ ගැන වදාළ දෙසුම නිමා විය.

Wednesday, July 15, 2009

සුචිලෝම සූත්‍රය

( සුචිලෝම නම් යක්ෂයාට වදාළ දෙසුම )
237. මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. එදා භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ ගයාවේ ටංකිතමඤ්ච නම් සුචිලෝම යක්‍ෂයාගේ භවනේ. ඒ වෙලාවේ චරලෝම කියන යක්ෂයාත්, සූචිලෝම යක්‍ෂයාත් භාග්‍යවතුන් වහන්සේට නුදුරින් ගමන් ගත්තා.

එතකොට චර ලෝම යක්ෂයා සූචිලෝම යක්ෂයාට මෙහෙම කිව්වා.

“ඒයි! මෙන්න ශ්‍රමණයෙක්.”

“මෙයා ශ්‍රමණයෙක් නෙවෙයි. මෙයා ශ්‍රමණයෙක් වගේ කෙනෙක්.”

“හරි, මම දැන් බලන්නම්. මෙයා ශ්‍රමණයෙක්ද? එහෙම නැත්නම් ශ්‍රමණයෙක් වගේ කෙනෙක්ද කියලා.”

ඉතින් සූචිලෝම යක්‍ෂයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට හේත්තු වුනා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී ශරීරය මෑතට ගත්තා. ඒ මොහොතේ මෙහෙම ඇහුවා.

“ඒයි ශ්‍රමණය, ඔබ මට භයයි නේ ද?”

(භාග්‍යවතුන් වහන්සේ) :

“ආයුෂ්මත, ඔබ ගැන මට බයක් නෑ. නමුත් ඔබේ ඔය ස්පර්ශය නම් හරි රළුයි.”

(සූචිලෝම) :

“ඒයි ශ්‍රමණය, මම දැන් ප්‍රශ්නයක් අහනවා. හැබැයි ශ්‍රමණය, මට උත්තර නොදුන්නොත්, ඔබේ හිත හරි විකල් කරලා දානව. එක්කො පපුව හරි පළලා දානවා. එක්කො පාවලින් අල්ලලා, ගඟෙන් එතෙරට වීසිකරලා දානවා.”

(භාග්‍යවතුන් වහන්සේ) :

“ආයුෂ්මත, මගේ හිත විකල් කරන්න පුළුවන් කෙනෙක්, හදවත පලා දමන්න පුළුවන් කෙනෙක්, පාවලින් අල්ලලා, ගඟෙන් එතෙරට වීසිකරන්න පුළුවන් කෙනෙක්, මේ දෙවියන්, බඹුන්, මරුන්, ශ්‍රමණ බමුණන් සහිත මේ ලෝකයේ, මේ දෙව්මිනිස් ප්‍රජාව තුළ මම නම් දකින්නෙ නෑ. නමුත් ආයුෂ්මත, ඔබ කැමති ඒ කරුණ අහන්න.”

එතකොට සූචිලෝම යක්‍ෂයා භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් පැවසුවා.

“රාගයත්, ද්වේෂයත් හටගන්නෙ මොකෙන්ද? ධර්මයට නොඇලීමත්, කම් සුවයට ඇලීමත්, ලොමු දහගැනීමත් හටගන්නෙ කොතනින්ද? ගමේ ළමයි කපුටෙක් අල්ලගෙන නූල්වලින් කකුල් ගැට ගහලා, කොන අල්ලගෙන අතහරිනවා වගේ, මේ මනෝ විතර්ක පටන් ගන්නෙ කොතනින්ද?”

(භාග්‍යවතුන් වහන්සේ) :

“රාගයත්, ද්වේෂයත් හටගන්නෙ මේ ජීවිතය තුළින්ම යි. කුසලයට නොඇල්මත්, පංච කාමයට ඇල්මත්, ලොමු දහගැනීමත් හටගන්නෙ මෙතනින්ම තමයි. ගමේ ළමයි කපුටෙක්ව අල්ලලා, කකුල් නුලකින් ගැට ගහලා, කොන අල්ලගෙන අතඅරිනවා වගේ, මනෝ විතර්කත් මෙතනින්ම තමයි ඇතිවෙන්නෙ.

තණ්හාවෙන් හටගන්නවා. තමන් තුළයි ඇතිවෙන්නෙ. නුග ගහක අතු ඉති බෙදෙනවා වගේ, වනාන්තරේක ගහක් වෙලා ගෙන මාලුවා වැලක් තියෙනවා වගෙයි, මේ කාමයන් ගැන තමයි හිත බොහෝ සෙයින් වෙලී යන්නෙ.

යම් කෙනෙක් ඔය කාරණේ දන්නවා නම්, ඒවා පටන් ගන්න තැන තේරුම් අරගෙන, ඒක දුරු කරනවා. පින්වත් යක්ෂය, හොඳට අහගන්න. අන්න එහෙම කිරීමෙන් එතෙර වෙන්න දුෂ්කර වූ ඒ සැඩ පහරින් ඒ උදවිය එතෙර වෙනවා. පුනර්භවය නැතිකර ගැනීම පිණිස කළින් එතෙර නොවුනු සැඩ පහරින් එතෙර වෙනවා.”

සාදු! සාදු!! සාදු!!!

Thursday, July 9, 2009

තිත්ත ඇත්ත



අද හරිම දුක්ඛ දායක කතාවක් ඇහුන. මම අඳුනන ආරන්‍යගත සිලවත් ස්වාමීන් වහන්සේ නමක් බන භාවනා කරගන නිදහසේ දහම් අධ්‍යයනයක යෙදෙන්න නිදහස් ස්තානයක් සොයමින් ඉන්නව, ඉතින් එක දොස්තර මහත්තයෙක් එයාගෙ ඉඩමක් ආරණ්‍යයට පූජා කරන්න තීරණය කරල පවුලෙ සියලු දෙනා එක්ක එකතු වෙලා කතා බහ කරගන ක්‍රියාත්මක කරන්න ඉස්සෙල්ල තමන් නිතර ඇසුරු කරන ගමේ පන්සලේ හාමුදුරුවන් වහන්සේ එක්ක මේ ගැන කතා කරල තියෙන්නෙ ඉතාම ආසාවෙන් ,ඉතින් හාමුදුරුවෝ ඒක අහල ඒ වඩේට අපිනම් කැමති නෑ ඕනමනම් අපිට ඉඩම පුජා කරන්න කියල. මොකද ආරන්‍යයක් හැදුනාම මිනිස්සු ඔක්කොම එහාට යනව මේ පැත්තට එන අය අඩු වෙනව කියල.
මම කල්පනා කලේ ඇයි එහෙම මේ පන්සල් වල ඉන්න හාමුදුරුවන් වහන්සේලා ආරන්‍ය ගැන භීතිකාවකින් පෙලෙන්නෙ, මේ සාසනයට පූජා වෙලා තියන භූමිය, එක එක හාමුදුරුවරුන්ට පෞද්ගලිකව බෙදා ගන්න පුලුවන්ද? තමන් සිටින පන්සලට සැදැහැවතුන්ගේ පැමිනීම අඩු වෙලා තියෙන්නෙ ඇයි කියල කල්පනා කරන්නෙ නැතුව සැදැහැවතුන්ගේ පැමිනීම වැඩි තැනට ඊර්ශා කර කර ඉන්නව,
අඩුම තරමින් එහෙම හිතන ස්වමින් වහන්සේලා දන්නෙ නෑ , සිහි කරන්නෙ නෑ කර්මය හා කර්ම ඵල ධර්මය ගැන. ඒක විස්වාස කරනවනම් ඒ වගේ ඊර්ශාකාර කම් කරන්නෙ නෑ, ධර්මය දෙශනා කරන අය ධර්මය අනුව තම්න්ගෙ සසර මග හැඩගස්සවා ගන්නේ නැත්තම්, ඒ බන අහන අයට ඒ බන දහම් තුල විශ්වාසය ගොඩ නැගෙන්නේ කොහොමද?

මගේ පැතුම: සියලු ස්වාමින් වහන්සේලාට දර්මාවබෝධය පිලිබඳ සිත් ඇති වේවා !, වීර්ය ඇති වේවා !, ගිහි පින් වතුන්ගේ ශක්තිය අනුග්‍රහය නිබඳව ලැබේවා !

සාසනාරක්ශාව වහා මේ ශ්‍රී ලංකාද්වීපයේ ඇති වේවා !

Wednesday, July 1, 2009

කළු දිය පොකුනේ

කළු දිය පොකුනේ සිසිල් පවන් රැල්ලේ
සිත දැවටී ගන්නේ
සිත් පතුලද මේ කිමිද බලන්නේ
නෙක රහතුන් වැඩි මග යන්නේ
සියොලඟ පිනවන සිත් සමගින්නේ

කිමිද දියේ පිනි සිසිල දකින්නේ
මහනෙල් මල් ගැබුරින් නෙලමින්නේ
මහමෙර සේ මහ මුනිඳු පුදන්නේ
මේ දිය බිෙඳනුයි මේ දිවි යන්නේ

මහ වන මැදදී බවුන් වඩන්නේ
මේ සිසිලෙන් මෙත් සිසිල දකින්නේ
ලෝ සත හට මෙත් පුද දී ගන්නේ
වෙර ගනිමින්දෝ සසර දකින්නේ

හමන පවන් රැල සසර ගිනි නිවන්නේ
සිත් ඝනඳුර මහ එළිය දකින්නේ
මොහඳුර දුරු කර නිවන පෙනෙන් නේ
මේ මහ වන මැද එතෙරට යන්නේ

චමී
2009-6-6