Friday, September 18, 2009

( ගිනි මද්දහන ගැන පැවසූ දෙසුම )

මජ්ඣන්තික සූත්‍රය

( ගිනි මද්දහන ගැන පැවසූ දෙසුම )

232. මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල එක්තරා භික්ෂුවක් කොසොල් ජනපදයේ එක්තරා වන ලැහැබකයි වාසය කළේ. එදා ඒ වන ලැහැබට අරක්ගත් දෙවියා ඒ භික්ෂුව වෙත ගියා. ගිහින් ඒ භික්ෂුව සමීපයේ මේ ගාථාව පැවසුවා.

“ගිනි මද්දහනේ කුරුල්ලන් හයියෙන් තටු සලා කෑගහන කොට මහා වනාන්තරයම හඬ තලනවා වගෙයි. එතකොට මට බියක් දැනෙනවා.”

(භික්ෂුව) :

“ගිනි මද්දහනට කුරුල්ලන් හයියෙන් තටු සලා කෑගහන කොට මහා වනයම හඬ තලනවා වගේ තමයි. නමුත් මං ඒකට හරි කැමතියි.”

සාදු! සාදු!! සාදු!!!




ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
9.1.13.
පාකතින්ද්‍රිය සූත්‍රය
( සිත දියුණු නොකළ භික්ෂූන්ට පැවසූ දෙසුම )
233. මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල බොහෝ භික්ෂූන් වහන්සේලා කොසොල් ජනපදයේ එක්තරා වන ලැහැබක වාසය කළා. ඔවුන් හරි උඬඟුයි. හිතට අරගෙන හිටියේ. චපලයි. කට වාචාලයි. සිහියෙන් තොරයි. අවබෝධයෙන් තොරයි. සිත සමාහිත නෑ. විසිරුණු සිත් ඇතිව නොදියුණු සිතකින් තමයි සිටියේ.

එතකොට ඒ වන ලැහැබට අරක්ගත් ඒ දෙවියාට ඒ භික්ෂූන් ගැන අනුකම්පා හිතුනා. සෙත සළසන්න කැමති වුනා. ඒ භික්ෂූන්ව සංවේග කරවන්න කැමති වුනා. ඒ භික්ෂූන් ළඟට ගියා. ගිහින් ඒ භික්ෂූන්ට ගාථාවලින් පැවසුවා.

“ඒ කාලෙ ගෞතම ශ්‍රාවක වූ පින්වත් භික්ෂූන් වහන්සේලා සැපසේ ජීවත් වුනා. ආශා රහිතවම යි පිණ්ඩපාතේ වැඩියේ. ආශා රහිතවම යි සෙනසුන් වල හිටියේ. ලෝකය අනිත්‍ය බව අවබෝධ කරගෙන, උන්වහන්සේලා දුක් කෙළවර කළා. (ඒ වුණාට දැන්) පෝෂණය කරන්නත් දුෂ්කරයි. තමන්ගේ ගමේ ගම් දෙටුවෝ වගේ. අනුන්ගේ ගෙවල්වල ගිහින් කකා, බිබී මුසපත් වෙලා ඒකෙම වැටෙනවා.

මං සංඝයාට වැඳලයි මේ කියන්නෙ. සමහර උදවිය ඉන්නවා ඒ විදිහට. බුද්ධ ශාසනෙන් බැහැරව ඔවුන් අනාථ වෙලා ඉන්නෙ. ඔවුන්ගේ ජීවිතේ අමු සොහොනෙ දාපු මළකඳන් වගේ.

යමෙක් ප්‍රමාදීව ඉන්නවා නම්, අන්න ඒ උදවියටයි මං මේක කිව්වේ. යමෙක් අප්‍රමාදීව ඉන්නවා නම්, මං උන්වහන්සේලාට නමස්කාර කරනවා.”

එතකොට ඒ භික්සු පිරිස, ඒ දෙවියා විසින් සංවේගයට පත් කරවලා, සංවේග වුනා.

සාදු! සාදු!! සාදු!!!




ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
9.1.14.
පදුම පුප්ඵ සූත්‍රය
( නෙළුම් මල ගැන පැවසූ දෙසුම )
234. මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල එක්තරා භික්ෂුවක් කොසොල් ජනපදයේ එක්තරා වන ලැහැබක වාසය කළා. එදා ඒ භික්ෂුව පිණ්ඩපාතෙ කරගත්තාට පස්සේ පොකුණකට බැහැලා නෙළුම් මලක් අල්ලලා ඉම්බා.

එතකොට ඒ වන ලැහැබට අරක්ගත් දෙවියෙකුට ඒ භික්ෂුව ගැන අනුකම්පා හිතුනා. සෙත සළසන්නට කැමති වුනා. ඒ භික්ෂුවට සංවේග ඇතිකරවන්නට කැමති වුනා. ඒ භික්ෂුව ළඟට ගියා. ගිහින් ඒ භික්ෂුවට ගාථාවකින් පැවසුවා.

“නිදුකාණන් වහන්ස, වතුරේ හටගත් ඔය නෙළුම ඔබට කවුරුවත් දුන්නෙ නෑ. නමුත් ඔබ ඒක ඉම්බා. ඕකත් එක්තරා හොරකමක්. ඕකෙන් ඔබ සුවඳ හොරෙක් වෙනවා.”

(භික්ෂුව) :

“ඉතින් මං ඒ මල ගෙනියන්නෙ නෑනෙ. කඩන්නෙත් නෑනෙ. දුර ඉඳලනෙ ඉම්බෙ. එහෙම එකේ සුවඳ හොරෙක් කියල කියන්නෙ මොන දේකින්ද?”

(දෙවියා):

“යම් කෙනෙක් නෙළුම් අල ගැලෙව්වාට, නෙළුම් මල් කැඩුවාට, ඒ අපිරිසිදු ජීවිකා ඇති තවුසන්ට සුවඳ හොරා කියල කියන්නෙ නැත්තෙ ඇයි?

ඒ පුද්ගලයා අපිරිසිදු ක්‍රියාවෙන් වෙලිච්ච කෙනෙක්. ඔහුගේ ජීවිතය කිරි අම්මාගේ ඇඳි වතේ මළ මුත්‍ර තැවරුණා වගේ. එබඳු අය ගැන මගේ කතාවක් නෑ. නමුත් ඔබට නම් මේ ගැන කියන්න ඕන.

උපක්ලේශ නැති කෙනෙකුට නිතරම පිරිසිදු බවම සොයන කෙනෙකුට අස් ලොමක අග ගෑවුණු පොඩි වරද පවා වළාකුලක් වගේ ලොකුවට පේනවා.”

(භික්ෂුව) :

“පින්වත් දෙවිය, ඇත්ත වශයෙන්ම ඔබ මං ගැන දන්නවා. ඔබ මට අනුකම්පා කළා. පින්වත් දෙවිය, ආයෙමත් ඔය වගේ වරදක් දැක්කොත් ඒක මට පෙන්නලා දෙන්න.”

(දෙවියා) :

“පින්වත් භික්ෂුව, මං ඔබ නිසා ජීවත් වෙන කෙනෙක් නොවෙයි. මං ඔබේ දාසයෙකුත් නොවෙයි. යම්කිසි දේකින් සුගතියට යනවා නම්, ඒක ඔබම නෙව දැනගන්න ඕන.”

එතකොට ඒ භික්ෂුව ඒ දෙවියා විසින් සංවේග කරවීමෙන් සංවේගයට පත් වුනා.

සාදු! සාදු!! සාදු!!!