Wednesday, July 15, 2009

සුචිලෝම සූත්‍රය

( සුචිලෝම නම් යක්ෂයාට වදාළ දෙසුම )
237. මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. එදා භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ ගයාවේ ටංකිතමඤ්ච නම් සුචිලෝම යක්‍ෂයාගේ භවනේ. ඒ වෙලාවේ චරලෝම කියන යක්ෂයාත්, සූචිලෝම යක්‍ෂයාත් භාග්‍යවතුන් වහන්සේට නුදුරින් ගමන් ගත්තා.

එතකොට චර ලෝම යක්ෂයා සූචිලෝම යක්ෂයාට මෙහෙම කිව්වා.

“ඒයි! මෙන්න ශ්‍රමණයෙක්.”

“මෙයා ශ්‍රමණයෙක් නෙවෙයි. මෙයා ශ්‍රමණයෙක් වගේ කෙනෙක්.”

“හරි, මම දැන් බලන්නම්. මෙයා ශ්‍රමණයෙක්ද? එහෙම නැත්නම් ශ්‍රමණයෙක් වගේ කෙනෙක්ද කියලා.”

ඉතින් සූචිලෝම යක්‍ෂයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට හේත්තු වුනා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී ශරීරය මෑතට ගත්තා. ඒ මොහොතේ මෙහෙම ඇහුවා.

“ඒයි ශ්‍රමණය, ඔබ මට භයයි නේ ද?”

(භාග්‍යවතුන් වහන්සේ) :

“ආයුෂ්මත, ඔබ ගැන මට බයක් නෑ. නමුත් ඔබේ ඔය ස්පර්ශය නම් හරි රළුයි.”

(සූචිලෝම) :

“ඒයි ශ්‍රමණය, මම දැන් ප්‍රශ්නයක් අහනවා. හැබැයි ශ්‍රමණය, මට උත්තර නොදුන්නොත්, ඔබේ හිත හරි විකල් කරලා දානව. එක්කො පපුව හරි පළලා දානවා. එක්කො පාවලින් අල්ලලා, ගඟෙන් එතෙරට වීසිකරලා දානවා.”

(භාග්‍යවතුන් වහන්සේ) :

“ආයුෂ්මත, මගේ හිත විකල් කරන්න පුළුවන් කෙනෙක්, හදවත පලා දමන්න පුළුවන් කෙනෙක්, පාවලින් අල්ලලා, ගඟෙන් එතෙරට වීසිකරන්න පුළුවන් කෙනෙක්, මේ දෙවියන්, බඹුන්, මරුන්, ශ්‍රමණ බමුණන් සහිත මේ ලෝකයේ, මේ දෙව්මිනිස් ප්‍රජාව තුළ මම නම් දකින්නෙ නෑ. නමුත් ආයුෂ්මත, ඔබ කැමති ඒ කරුණ අහන්න.”

එතකොට සූචිලෝම යක්‍ෂයා භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් පැවසුවා.

“රාගයත්, ද්වේෂයත් හටගන්නෙ මොකෙන්ද? ධර්මයට නොඇලීමත්, කම් සුවයට ඇලීමත්, ලොමු දහගැනීමත් හටගන්නෙ කොතනින්ද? ගමේ ළමයි කපුටෙක් අල්ලගෙන නූල්වලින් කකුල් ගැට ගහලා, කොන අල්ලගෙන අතහරිනවා වගේ, මේ මනෝ විතර්ක පටන් ගන්නෙ කොතනින්ද?”

(භාග්‍යවතුන් වහන්සේ) :

“රාගයත්, ද්වේෂයත් හටගන්නෙ මේ ජීවිතය තුළින්ම යි. කුසලයට නොඇල්මත්, පංච කාමයට ඇල්මත්, ලොමු දහගැනීමත් හටගන්නෙ මෙතනින්ම තමයි. ගමේ ළමයි කපුටෙක්ව අල්ලලා, කකුල් නුලකින් ගැට ගහලා, කොන අල්ලගෙන අතඅරිනවා වගේ, මනෝ විතර්කත් මෙතනින්ම තමයි ඇතිවෙන්නෙ.

තණ්හාවෙන් හටගන්නවා. තමන් තුළයි ඇතිවෙන්නෙ. නුග ගහක අතු ඉති බෙදෙනවා වගේ, වනාන්තරේක ගහක් වෙලා ගෙන මාලුවා වැලක් තියෙනවා වගෙයි, මේ කාමයන් ගැන තමයි හිත බොහෝ සෙයින් වෙලී යන්නෙ.

යම් කෙනෙක් ඔය කාරණේ දන්නවා නම්, ඒවා පටන් ගන්න තැන තේරුම් අරගෙන, ඒක දුරු කරනවා. පින්වත් යක්ෂය, හොඳට අහගන්න. අන්න එහෙම කිරීමෙන් එතෙර වෙන්න දුෂ්කර වූ ඒ සැඩ පහරින් ඒ උදවිය එතෙර වෙනවා. පුනර්භවය නැතිකර ගැනීම පිණිස කළින් එතෙර නොවුනු සැඩ පහරින් එතෙර වෙනවා.”

සාදු! සාදු!! සාදු!!!

2 comments:

  1. Sadu!Sadu!Sadu!
    Pinwah obata bohoma pin!!!
    Deshanawa Lassanai!!

    ReplyDelete
  2. Great service,
    May the triple gem bless you!!!

    ReplyDelete

ඔබගේ ආගමානුකූල අදහස් සැම විට අගය කරමු,අදහස් සඳහා පිරිසිඳු වචන භාවිතා කරන්න, ඔබ සියළුදෙනා වචනය පිරිසිඳු අත්තෝ වෙත්වා.

තෙරුවන සරණයි !