4.2.2.
සීහ සූත්‍රය
148. මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේව පිරිවරාගත් විශාල පිරිසකට දහම් දෙසමින් හිටියේ.
එතකොට පාපී මාරයාට මෙහෙම හිතුනා. ‛මේ ගෞතම ශ්‍රමණයන් වහන්සේ මහා පිරිසක් පිරිවරාගෙන දහම් දෙසනවා. මං ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟට යන්න ඕන. ගිහින් බණ අහන උදවියගේ නුවණැස වහන්න ඕන.’
එහෙම හිතලා පවිටු මාරයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් මෙහෙම කිව්වා.
“හා! ........... පිරිස මැද්දෙ විශාරදව සිංහනාද කරනවා නේද? දිනුව කියලද හිතාගෙන ඉන්නේ? තමුන්නාන්සෙට විරුද්ධකාරයෙක් ඉන්නවා.”
(භාග්‍යවතුන් වහන්සේ) :
“මහාවීර වූ තථාගතයන් වහන්සේලා තථාගත බලයට පැමිණිලා ලෝකයේ තෘෂ්ණාවෙන් එතෙර වෙලයි ඉන්නෙ. ඉතින් ඇත්තෙන්ම උන්වහන්සේලා පිරිස් මැද්දෙ විශාරදව සිංහනාද කරනවා තමයි.”
එතකොට පවිටු මාරයා ‛භාග්‍යවතුන් වහන්සේ මාව දැනගත්තා නෙව. සුගතයන් වහන්සේ මාව දැනගත්තා නෙව’ කියල දුක් වුනා. නොසතුටු වුනා. එතනම නොපෙනී ගියා.
සාදු! සාදු!! සාදු!!!
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
4.2.3.
සකලික සූත්‍රය
149. මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර මද්දකුච්ඡි නම් මිගදායේ වැඩසිටියේ.
ඒ වෙනකොට භාග්‍යවතුන් වහන්සේගේ සිරි පතුලකට ගල් පතුරකින් පහරක් වැදිල තිබුණා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේට ගොඩාක් ශාරීරික වේදනා දැනුනා. ගොඩාක් දුක් ඇතිවුනා. තියුණු, කර්කශ, අමිහිරි, අමනාප වේදනා ඇතිවුනා. භාග්‍යවතුන් වහන්සේ හොඳ සිහි කල්පනාවෙන්, හොඳ නුවණින් යුතුව, ඒ පීඩා විඳින්නෙ නැතුව, ඒ වේදනාවන් ඉවසා වදාළා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දෙපට සිවුර හතරට නවලා ආසනයක් පණවගෙන, දකුණු ඇලයෙන් හාන්සි වුනා. වම් සිරිපතුල උඩින් දකුණු සිරිපතුල මදක් මෑත් කොට තබාගෙන සිහි නුවණින් යුතුව සිංහ සෙය්‍යාවෙන් වැඩසිටියා.
එතකොට පවිටු මාරයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් මෙහෙම කිව්වා.
“මොකද නිදාගෙන ඉන්නෙ. මුළා වුනාද? එහෙම නැත්නම් කවි ගැන හිත හිත ඉන්නවා ද? ඇයි දැන් වැඩ නවත්තලා ද? මේ හුදෙකලාවෙ තනියම කුටියකට වෙලා, නිදිබර මුහුණු ඇතිව නිදාගන්නෙ මොකද?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“මුළාවෙලා නිදනවත් නෙවෙයි. කවි ගැන හිත හිත ඉන්න නිදනවත් නෙවෙයි. මං ලෝකෙට යහපතක් කරනව තමයි. නමුත් මං ශෝක රහිතව ඉන්න කෙනෙක්. මං හුදෙකලාවෙ තනියම කුටියකට වෙලා, මේ සැතපිලා ඉන්නෙත් සියලු සතුන් ගැන අනුකම්පාවෙන්ම යි.
යමෙකුගේ හිත ඇතුළට රාගාදී හුල් ඇනිල තියෙන කොට, ඔවුන්ගේ හදවත මොහොතක්, මොහොතක් පාසා කම්පා වෙනවා. ඉතින්, රාගාදී හුල් සහිතව ඒ උදවිය පවා නිදාගන්නවා නම්, ඒ හුල් කිසිවක් නැති, මං මොකටද නිදා නොගෙන ඉන්නෙ?
සැකෙන් ඇහැරගෙන ඉන්නවත් නෙවෙයි. නිදාගන්න භයකුත් නෑ. රෑදවල් දෙකේම මං තුළ තැවෙන කිසිදෙයක් නෑ. මගේ ජීවිතේ කොයි පැත්තකින්වත් පිරිහීමක් පේන්නෙ නෑ. ඒ නිසා, සියලු සතුන් කෙරෙහි අනුකම්පාවෙන්ම යි මං මේ සැතපෙන්නෙ.”
එතකොට පවිටු මාරයා ‛භාග්‍යවතුන් වහන්සෙ මාව දැනගත්තා නෙව. සුගතයන් වහන්සේ මාව දැනගත්තා නෙව’ කියල දුක් වුනා. නොසතුටු වුනා. එතනම නොපෙනී ගියා.
Thursday, August 13, 2009
( සිංහයා ගැන වදාළ දෙසුම ) saha ( ගල් පතුර මුල් කොට වදාළ දෙසුම )
Subscribe to:
Post Comments (Atom)
තෙරුවන සරණයි !
ReplyDeletehttp://myresignation1.blogspot.com/
nobodyසරණයි !