Monday, August 31, 2009

ආයාචන සූත්‍රය

6. බ්‍රහ්ම සංයුත්තය

1. කෝකාලික වර්ගය

6.1.1.
( බ්‍රහ්මාරාධනය අරභයා වදාළ දෙසුම )
172. මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි.

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් ජනපදයේ, නේරංජනා නදිය අසල, අජපල් නුග රුක් සෙවනේ වැඩසිටියේ. ඒ සම්බුද්ධත්වයට පත් වූ මුල් කාලයයි.

එතකොට හුදෙකලාවේ භාවනාවෙන් වැඩසිටිය භාග්‍යවතුන් වහන්සේ ගේ සිතේ මේ වගේ කල්පනාවක් ඇතිවුනා.

“මම මේ අවබෝධ කරගත් ධර්මය හරි ගැඹුරුයි. අමාරුවෙන් දකින්න ඕන. අවබෝධයට දුෂ්කරයි. නමුත් ශාන්තයි. ප්‍රණීතයි. තර්ක කරලා දකින්න පුළුවන් දෙයක් නොවෙයි. සියුම්. නුවණැත්තන් විසින්ම දැක්ක යුතු දෙයක්. ඒත් මේ සත්ව ප්‍රජාව නම්, ආශාව තුළ ඉන්නෙ. ආශාවට ඇලිල ඉන්නෙ. ආශාවෙන්ම සතුටු වෙනවා. ඉතින්, ආශාව තුළ ඉන්න, ආශාවටම ඇලුන, ආශාවෙන්ම ප්‍රමුදිත වන මේ සත්ව ප්‍රජාවට හේතුඵල දහම ගැන කියවෙන, මේ පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කිරීම ඉතා දුකසේ කළ යුතු දෙයක්. ඒ වගේම සියලු සංස්කාරයන් සන්සිඳවන, සියලු කෙලෙස් දුරු කරවන, තෘෂ්ණාව නැති වී, විරාගය, නිරෝධය නම් වූ ඒ අමා නිවන සාක්‍ෂාත් කිරීමත් ඉතා දුක සේ කළ යුතු දෙයක්. ඉතින් එහෙම එකේ මං දහම් දෙසන්න ගිහින් අනිත් උදවිය මා කියා දෙන ධර්මය අවබෝධ කරන්නෙ නැත්නම්, ඒක මට මහන්සියක්. ඒක මට වෙහෙසක්.”

එතකොටම භාග්‍යවතුන් වහන්සේට කවදාවත් අහලා නැති මේ ආශ්චර්යවත් ගාථාවන් වැටහුනා.

“මං හරි අමාරුවෙන් අවබෝධ කළේ. අනිත් අයට කියා දීල වැඩක් නෑ. රාගයටත්, ද්වේෂයටත්, යටවෙලා ඉන්න ඒ උදවිය, මේ ධර්මය නම් ලේසියෙන් අවබෝධ කරන්නෙ නෑ.

මේක උඩුගං බලා යන දෙයක්. සියුම්. ගැඹුරුයි. දැකීමට දුෂ්කරයි. ගොඩාක්ම සියුම්. රාගයට ඇලිල ඉන්න උදවිය මේ ධර්මය දකින්නෙ නෑ. අවිද්‍යා අන්ධකාරයෙන් වැහිලයි ඔවුන් ඉන්නෙ.”

ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඔය විදියට හිතන කොට, මන්දෝ්ත්සාහී බවටම යි හිත නැමෙන්නෙ, දහම් දෙසීමට නොවෙයි.

එතකොට සහම්පතී බ්‍රහ්මයාගෙ සිතින්, භාග්‍යවතුන් වහන්සේගේ සිතේ ඇතිවෙච්ච කල්පනාව දැනගෙන, මෙහෙම හිතුනා. “අහෝ! භවත්නි ඒකාන්තයෙන්ම ලෝකය ඉවරයි. අහෝ! භවත්නි ඒකාන්තයෙන්ම ලෝකය විනාශ වෙලා යාවි. අහෝ! තථාගත වූ, අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ හිතත් මන්දෝත්සාහී වීමටම යි නැමෙන්නෙ. දහම් දෙසීමට නොවෙයි!”

ඉතින් සහම්පතී බ්‍රහ්මයා බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිගහරිනවා වගේ, දික් කළ අතක් හකුලනවා වගේ බඹලොවින් අතුරුදහන් වෙලා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පහල වුනා.

ඊට පස්සෙ සහම්පතී බ්‍රහ්මයා උතුරු සළුව එක පැත්තකට පොරවගෙන, දකුණු දණමඬල පොළවේ තබාගෙන, භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරගෙන මෙහෙම කිව්වා. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දහම් දෙසන සේක්වා! සුගතයන් වහන්සේ දහම් දෙසන සේක්වා! කෙලෙස් අඩු සත්වයෝ ඉන්නවා. ඔවුන්ට දහම් දෙසන්න නොලැබුනොත් පිරිහෙනවා. දහම් අසන්න ලැබුනොත් අවබෝධ කරන අය පහළ වෙනවා.” මෙහෙම කියල සහම්පතී බ්‍රහ්මයා ආයෙමත් මේ කරුණ පැවසුවා.

“මගධ දේශයේ කලින් පහළවෙලා තිබුනෙ කෙලෙස් මල සහිත උදවිය විසින් හිතපු අපිරිසිදු මතවාද ගොඩක්. ඒ නිසා අමා නිවන් දොර විවෘත කළ මැනව. නිර්මල බුද්ධි ඇති බුදු සමිඳුන්ගේ ධර්මය ලෝ වැස්සෝද අසත්වා!

ගල් පර්වතයක් මුදුනට නැග ගත් කෙනෙක්, හාත්පස බිම සිටින ජනතාව දකිනවා වගෙයි, හැමදේ දකින මුනිඳුනි, ප්‍රඥාවන්ත මුනිඳුනි, ඒ විදිහටම සද්ධර්මයෙන් කරන ලද සදහම් ප්‍රාසාදයට නැගල, ජාති ජරා දුකින් පෙළෙන, සෝ තැවුල් විඳින ජනතාව දෙස බලන සේක්වා!

මාර යුද්ධය ජයගත් වීරයන් වහන්ස, නැගී සිටිනු මැනව. උතුම් ගැල් කරුවාණෙනි, ණය නැති මුනිඳාණෙනි, ලොව සැරිසරා වඩිනු මැනව, භාග්‍යවතුන් වහන්ස, දහම් දෙසන සේක්වා! අවබෝධ කරන අය පහළ වෙනවාම යි.”

එතකොට භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මයාගේ ආරාධනාවත් දැනගෙන, ලෝ සතුන් කෙරෙහි පහළ මහා කරුණාවෙන් බුදු ඇසින් ලොව දෙස බලා වදාළා. භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් ලෝකය දෙස බලද්දි, ලෝක සත්වයාව දැක්කා. සමහරුන්ට කෙලෙස් ටිකයි තියෙන්නෙ. සමහරුන්ට ගොඩාක් කෙලෙස් තියෙනවා. සමහරුන්ගේ බුද්ධිමය හැකියාව තියුණුයි. සමහරුන්ගේ බුද්ධිමය හැකියාව අඩුයි. සමහරුන්ට තේරුම්ගන්න ලේසියි. සමහරුන්ව තේරුම්ගන්න අමාරුයි. සමහරුන්ට පහසුවෙන්ම තේරෙනවා. සමහරුන්ට අවබෝධ කරවන්න අමාරුයි. සමහරු පරලොව ගැනත්, වැරදි ගැනත් භය ඇතුව ඉන්නවා. සමහරු පරලොව ගැනත්, වැරදි ගැනත් කිසි භයක් නැතුව ඉන්නවා.

මේ ලෝකය විලක් වගෙයි. ඒ විලේ මහනෙල් තියෙනවා. නෙළුම් තියෙනවා. සමහර මහනෙල්, නෙළුම්, සුදු නෙළුම්, වතුරෙ හැදිල, වතුරෙ වැඩිල, ඒත් උඩට මතු නො වී වතුරෙ ගිලී තියෙනවා. සමහර මානෙල්, නෙළුම්, සුදු නෙළුම් වතුරෙ හැදිලා, වතුර වැඩිලා, වතුරෙන් උඩට ඇවිත් වතුරෙ ගෑවෙන්නෙ නැතුව තියෙනවා. අන්න ඒ විදියම යි භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් ලෝකය දිහා බලද්දි, ලෝක සත්වයන්ව දැක්කා. සමහර සත්වයන්ට කෙලෙස් ටිකයි තියෙන්නෙ. සමහර සත්වයන්ට කෙලෙස් ගොඩක් තියෙනවා. සමහර සත්වයන්ගේ බුද්ධිමය හැකියාව තියුණුයි. සමහර සත්වයන්ගේ බුද්ධිමය හැකියාව මෘදුයි. සමහර සත්වයින්ව තේරුම්ගන්න ලේසියි. සමහර සත්වයින්ව තේරුම්ගන්න අමාරුයි. සමහර සත්වයින්ට අවබෝධ කරවන්න ලේසියි. සමහර සත්වයින්ට අවබෝධ කරවන්න අමාරුයි. සමහර සත්වයින් පරලොව ගැනත්, වැරදි ගැනත් භය ඇතුව ඉන්නවා. සමහර සත්වයින් පරලොව ගැනත්, වැරදි ගැනත් බය නැතුව ඉන්නවා. මේ විදියට ලෝක සත්වයන් දැකපු භාග්‍යවතුන් වහන්සේ සහම්පතී බ්‍රහ්මයාට ගාථාවකින් පිළිතුරු දුන්නා.

“ලෝක සත්වයන්ට අමා නිවන් දොර විවෘත කළා. සවන් යුග ලබාගත් පින්වතුන්ට දැන් ශ්‍රද්ධාව ඇති කරගන්ට කාලයයි. පින්වත් බ්‍රහ්මය, මං හොඳින් ප්‍රගුණ කළ මේ ප්‍රණීත ධර්මය මිනිසුන්ට නොකීවේ එය වෙහෙසක්ය යන හැඟීම නිසයි.”

එතකොට සහම්පතී බ්‍රහ්මයා ‛භාග්‍යවතුන් වහන්සේ විසින් සදහම් දෙසන්නට ඉඩ ප්‍රස්ථා ලබාගත්තා’ යි සිතල භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරල ප්‍රදක්‍ෂිණ කරලා, එතනම නොපෙනී ගියා.

සාදු! සාදු!! සාදු!!!




ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

No comments:

Post a Comment

ඔබගේ ආගමානුකූල අදහස් සැම විට අගය කරමු,අදහස් සඳහා පිරිසිඳු වචන භාවිතා කරන්න, ඔබ සියළුදෙනා වචනය පිරිසිඳු අත්තෝ වෙත්වා.

තෙරුවන සරණයි !