Saturday, June 20, 2009

භික්ෂුව තුළ තියෙනවා සම්පූර්ණයෙන් ම නැති වෙලා නැති සිතකට බැඳෙන බන්ධන පහක්

භික්ෂුව තුළ තියෙනවා සම්පූර්ණයෙන් ම නැති වෙලා නැති සිතකට බැඳෙන බන්ධන පහක්. මොනව ද ඒ බන්ධන පහ?
1. පින්වත් මහණෙනි, භික්ෂුවක් ඉන්නවා. ඔහු කාමයන් ගැන රාගය නැති කරපු කෙනෙක් නො වෙයි. ආශාව නැති කරපු කෙනෙක් නො වෙයි. ඇල්ම නැති කරපු කෙනෙක් නො වෙයි. පිපාසය නැති කරපු කෙනෙක් නො වෙයි. සිතේ දැවිල්ල නැති කරපු කෙනෙක් නො වෙයි. තණ්හාව නැති කරපු කෙනෙක් නො වෙයි. ඉතින් පින්වත් මහණෙනි, භික්ෂුව කාමයන් ගැන, රාගය නැති නො කළ නිසා ම, ආශාව නැති නො කළ නිසා ම, ඇල්ම නැති නො කළ නිසා ම, පිපාසය නැති නො කළ නිසා ම, සිතේ දැවිල්ල නැති නො කළ නිසා ම, තණ්හාව නැති නො කළ නිසා ම, ඒ භික්ෂුවට වරදින් මිදෙන්න හිත නැමෙන්නෙ නෑ. අකුසල් දුරු කරල, කුසල් දියුණු කරන්න හිත නැමෙන්නෙ නෑ. හැමතිස්සෙ ම වීරියෙන් වාසය කරන්න හිත නැමෙන්නෙ නෑ. ඉතින් වරදින් මිදෙන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, අකුසල් දුරුකරලා කුසල් දියුණු කරන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, නිතර ම වීරිය වඩන්න ඔහුගේ හිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, ඒ තමයි කාමයන් කෙරෙහි රාගය තිබීම නම් වූ බන්ධනය. මෙසේ භික්ෂුව ගේ සිතින් සම්පූර්ණයෙන් ම ඉවත් නො කළ පළවෙනි බන්ධනය කියල කියන්නෙ ‛කාමයන් කෙරෙහි රාගය තිබීම’ යි.
2. සිතේ හැඳිල තියෙන තවත් බන්ධනයක් ගැන කියනවා නම්, පින්වත් මහණෙනි, භික්ෂුවක් ඉන්නවා. ඔහු කය ගැන රාගය නැති කරපු කෙනෙක් නො වෙයි. ආශාව නැති කරපු කෙනෙක් නො වෙයි. ඇල්ම නැති කරපු කෙනෙක් නො වෙයි. පිපාසය නැති කරපු කෙනෙක් නො වෙයි. සිතේ දැවිල්ල නැති කරපු කෙනෙක් නො වෙයි. තණ්හාව නැති කරපු කෙනෙක් නො වෙයි. ඉතින් පින්වත් මහණෙනි, භික්ෂුව කය ගැන, රාගය නැති නො කළ නිසා ම, ආශාව නැති නො කළ නිසා ම, ඇල්ම නැති නො කළ නිසා ම, පිපාසය නැති නො කළ නිසා ම, සිතේ දැවිල්ල නැති නො කළ නිසා ම, තණ්හාව නැති නො කළ නිසා ම, ඒ භික්ෂුවට වරදින් මිදෙන්න හිත නැමෙන්නෙ නෑ. අකුසල් දුරු කරල, කුසල් දියුණු කරන්න හිත නැමෙන්නෙ නෑ. හැමතිස්සෙ ම වීරියෙන් වාසය කරන්න හිත නැමෙන්නෙ නෑ. ඉතින් වරදින් මිදෙන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, අකුසල් දුරුකරලා කුසල් දියුණු කරන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, නිතර ම වීරිය වඩන්න ඔහුගේ හිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, ඒ තමයි කය කෙරෙහි රාගය තිබීම නම් වූ බන්ධනය. මෙසේ භික්ෂුව ගේ සිතින් සම්පූර්ණයෙන් ම ඉවත් නො කළ දෙවෙනි බන්ධනය කියල කියන්නෙ ‛කය කෙරෙහි රාගය තිබීම’ යි.
3. සිතේ හැඳිල තියෙන තවත් බන්ධනයක් ගැන කියනවා නම්, පින්වත් මහණෙනි, භික්ෂුවක් ඉන්නවා. ඔහු රූපය ගැන රාගය නැති කරපු කෙනෙක් නො වෙයි. ආශාව දුරු කරපු කෙනෙක් නො වෙයි. ඇල්ම නැති කරපු කෙනෙක් නො වෙයි. පිපාසය නැති කරපු කෙනෙක් නො වෙයි. සිතේ දැවිල්ල නැතිකරපු කෙනෙක් නො වෙයි. තණ්හාව නැති කරපු කෙනෙක් නො වෙයි. ඉතින් පින්වත් මහණෙනි, භික්ෂුව රූපය ගැන, රාගය නැති නො කළ නිසා ම, ආශාව නැති නො කළ නිසා ම, ඇල්ම නැති නො කළ නිසා ම, පිපාසය නැති නො කළ නිසා ම, සිතේ දැවිල්ල නැති නො කළ නිසා ම, තණ්හාව නැති නො කළ නිසා ම, ඒ භික්ෂුවට වරදින් මිදෙන්න හිත නැමෙන්නෙ නෑ. අකුසල් දුරු කරල, කුසල් දියුණු කරන්න හිත නැමෙන්නෙ නෑ. හැමතිස්සෙ ම වීරියෙන් වාසය කරන්න හිත නැමෙන්නෙ නෑ. ඉතින් වරදින් මිදෙන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, අකුසල් දුරුකරලා කුසල් දියුණු කරන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, නිතර ම වීරිය වඩන්න ඔහුගේ හිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, ඒ තමයි රූපය කෙරෙහි රාගය තිබීම නම් වූ බන්ධනය. මෙසේ භික්ෂුව ගේ සිතින් සම්පූර්ණයෙන් ම ඉවත් නො කළ තුන්වෙනි බන්ධනය කියල කියන්නෙ ‛රූපය කෙරෙහි රාගය තිබීම’ යි.
4. සිතේ හැඳිල තියෙන තවත් බන්ධනයක් ගැන කියනවා නම්, පින්වත් මහණෙනි, භික්ෂුවක් ඉන්නවා. ඔහු හොඳ හැටි බඩ කට පිරෙනකම් වළඳනවා. ඊට පස්සේ ඇඳ පුටුවල පෙරළීගෙන ඉන්න සැපයට අහුවෙලා, එහාට මෙයාට පෙරලි පෙරලි හාන්සි වෙන සැපයට අහුවෙලා, නින්දෙන් ලැබෙන සැපයට අහුවෙලා වාසය කරනවා. පින්වත් මහණෙනි, ඉතින් භික්ෂුව හොඳ හැටියට බඩ පිරෙනකම් වළඳලා, ඇඳ පුටුවල පෙරලීගෙන ඉන්න සැපයට අහුවෙලා, එහාට මෙහාට ඇඟ පත පෙරල පෙරලා හාන්සි වෙන සැපයට අහුවෙලා, නින්දෙන් ලැබෙන සැපයට අහුවෙලා වාසය කළොත්, ඒ භික්ෂුවට වරදින් මිදෙන්න හිත නැමෙන්නෙ නෑ. අකුසල් දුරු කරල, කුසල් දියුණු කරන්න හිත නැමෙන්නෙ නෑ. හැමතිස්සෙ ම වීරියෙන් වාසය කරන්න හිත නැමෙන්නෙ නෑ. ඉතින් වරදින් මිදෙන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, අකුසල් දුරුකරලා කුසල් දියුණු කරන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, නිතර ම වීරිය වඩන්න ඔහුගේ හිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, ඒ තමයි හොඳට වළඳලා පෙරලි පෙරලි නිදියගන්න තියෙන ආශාව නම් වූ බන්ධනය. මෙසේ භික්ෂුව ගේ සිතින් සම්පූර්ණයෙන් ම ඉවත් නො කළ සිව්වෙනි බන්ධනය කියල කියන්නෙ ‛හොඳට වළඳලා පෙරලි පෙරලි නිදියගන්න තියෙන ආශාව තිබීම’ යි.
5. සිතේ හැඳිල තියෙන තවත් බන්ධනයක් ගැන කියනවා නම්, පින්වත් මහණෙනි, භික්ෂුවක් ඉන්නවා. ඔහු මහණ ජීවිතය ගෙවන්නේ යම් කිසි දිව්‍ය ලෝකයක උපදින්න සිත පිහිටුවා ගෙනයි. ‛මම මේ සීලයෙන් හරි, මේ ව්‍රතයෙන් හරි, මේ තපසින් හරි, මේ බඹසරින් හරි, දෙවියෙක් වෙන්න ඕන. එක්කො කවර දෙවි කෙනෙක් හරි වෙන්න ඕන’ කියලා. ඉතින් පින්වත් මහණෙනි, භික්ෂුව තුළ හිතේ අධිෂ්ඨානයක් ඇති කරගෙන තියෙනවා නම් ‛දිව්‍ය ලෝකයක උපදින්න ඕන. මම මේ සීලයෙන් හරි, මේ ව්‍රතයෙන් හරි, මේ තපසින් හරි, මේ බඹසරින් හරි, දෙවියෙක් වෙනවා. කොයි විදිහෙ දෙවියෙක් හරි වෙනවා’ කියල. එතකොට ඒ භික්ෂුවට වරදින් මිදෙන්න හිත නැමෙන්නෙ නෑ. අකුසල් දුරු කරල, කුසල් දියුණු කරන්න හිත නැමෙන්නෙ නෑ. හැමතිස්සෙ ම වීරියෙන් වාසය කරන්න හිත නැමෙන්නෙ නෑ. ඉතින් වරදින් මිදෙන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, අකුසල් දුරුකරලා කුසල් දියුණු කරන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, නිතර ම වීරිය වඩන්න ඔහුගේ හිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, ඒ තමයි දෙව්ලොව උපත පතාගෙන බඹසර හැසිරීම නම් වූ බන්ධනය. මෙසේ භික්ෂුව ගේ සිතින් සම්පූර්ණයෙන් ම ඉවත් නො කළ පස්වෙනි බන්ධනය කියල කියන්නෙ ‛දෙව්ලොව උපත පතාගෙන බඹසර හැසිරීම’ යි.
ඒ භික්ෂුව ගේ හිතේ සම්පූර්ණයෙන් ම නැති නො කරපු, සිතක බැඳුන බන්ධන පහ කියල කියන්නෙ ඕවට තමයි.

No comments:

Post a Comment

ඔබගේ ආගමානුකූල අදහස් සැම විට අගය කරමු,අදහස් සඳහා පිරිසිඳු වචන භාවිතා කරන්න, ඔබ සියළුදෙනා වචනය පිරිසිඳු අත්තෝ වෙත්වා.

තෙරුවන සරණයි !